‍’තාත්තා නැති අඩුව පුරවන්න ගිය අම්මා‍’ පුතා සමඟ නොඑන ගමන් යයි (VIDEO)

‍’තාත්තා නැති අඩුව පුරවන්න ගිය අම්මා‍’ පුතා සමඟ නොඑන ගමන් යයි (VIDEO)

තම කුඹුරේ පැල් රකිමින් සිටි මවක සහ පුතෙකු හදිසි ගින්නක් හේතුවෙන් මරණයට පත් වී තිබෙනවා.

හබරන කිතුල්උතුව ප‍්‍රදේශයේ කුඹුරු යායක ඉදිකර තිබූ පැළකදී මේ දෙදෙනා ගින්නට හසුවී තිබෙන බවයි පොළොන්නරුව හතරැස්කොටුව පොලිසිය පැවසුවේ.

හබරන කිතුල්උතුව ප‍්‍රදේශයේ පදිංචිව සිටි මවක් සිය 14 හැවිරිදි පුතු ද සමඟ ඊයේ රාත‍්‍රියේ පැල් රැකීම සඳහා පිටත්ව ගොස් තිබෙනවා.

ඔවුන් රාත‍්‍රියේ පැල් රකිමින් සිටියදී එම පැළෙහි හදිසි ගින්නක් හටගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

අදාළ කුඹුරේ ආරක්‍ෂාවට ඇද තිබූ අනවසර විදුලිය රැහැනකින් විදුලිය කාන්දුවී එම පැළ ගිනි ගන්නට ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.

සිද්ධියෙන් මිය ගියේ 44 හැවිරිදි මවක් සහ 14 හැවිරිදි වියේ පසු වූ ඇගේ පුත‍්‍රයායි.

මියගිය කාන්තාවගේ සැමියා මීට කලකට පෙර මියගොස් ඇති නිසා කුඹුර රැක ගැනීමට මේ දෙදෙනා දිනපතා පැල් රැකීමට යන බවයි ප‍්‍රදේශවාසින් පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් හතරැස්කොටුව පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදු කරනවා.

Share This