අනුර – සජිත් විවාදයට නීතීඥ සංගමයේ සහයෝගය ලැබෙන්නේ නෑ

අනුර – සජිත් විවාදයට නීතීඥ සංගමයේ සහයෝගය ලැබෙන්නේ නෑ

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර පැවැත්වීමට නියමිත විවාදය සඳහා සහයෝගය ලබා නොදීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඒකමතිකව තීරණය කර තිබෙනවා.

එම සංගමයේ පැවති මහ සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබෙන බවයි සඳහන් වන්නේ.

සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා විසින් මෙම විවාදය සංවිධානය කිරීම සඳහා සහයෝගය ඉල්ලා ශ්‍රී ලංකා නීතීඥ සංගමය හමුවී ලිපියක් භාරදී තිබෙනවා.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා එම ලිපිය පිළිගනිමින් කියා සිටියේ එය අවසන් මහා සභා රැස්වීමට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තීරණයක් ලබාදෙන බවටයි.

ඒ අනුව මෙම විවාදය සඳහා සහයෝගය නොදැක්වීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමය තීරණය කර තිබෙන අතර වැඩිදුරටත් ඔවුන් සඳහන් කරන්නේ මේ මොහොත වන විට ජනාධිපතිවරණයක් කැඳවා නොතිබීම සහ ඉදිරිපත් විය හැකි අපේක්ෂකයන් අවිනිශ්චිත බව සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි.

එබැවින් අපේක්ෂකයන් දෙදෙනෙකු අතර පමණක් විවාදයක් පැවැත්වීම මේ මොහොතේ ගැටලු සහගත බවද ශ්‍රී ලංකා නීතීඥ සංගමය අවධාරණය කර තිබෙනවා.

Share This