G20 නායකත්වය සමග ඉන්දියාවට තවත් අවස්ථා රැසක් විවර වේ

G20 නායකත්වය සමග ඉන්දියාවට තවත් අවස්ථා රැසක් විවර වේ

එළඹෙන දෙසැම්බර් 01වැනිදා ඉන්දියාවට G20 ලෝක බලවතුන්ගේ සංසදයේ නායකත්වය හිමිවීමට නියමිතයි.

ඒ අතර විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ යුක්රේන යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් මැදිහත්කරුවකු ලෙස ඉදිරිපත්වන ලෙස ඔවුන්ට බටහිරින් ආරාධනා ලැබෙමින් පවතින බවයි.

පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් ද පසුගිය දා කියා සිටියේ තම පුරවැසියන්ගේ සුබසාධනය සඳහා නිර්භය තීරණ ගැනීමට නොහැකි වූ පාකිස්ථානය බටහිරට වහලෙකුව සිටියදී, රුසියාවෙන් රිසි සේ තෙල් ආනයනය කිරීමට ඉන්දියාවට හැකි වූ බවයි.

එමගින් ඉම්රාන් පෙන්වා දී ඇත්තේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳවයි. රුසියාවෙන් තෙල් මිලදී ගැනීමට ඉන්දියාව ගත් තීරණය පිළිබඳව සිය පාක්ෂිකයන් සහභාගිවන අන්දෝලනාත්මක ආණ්ඩු විරෝධී පාගමන අමතමින් කතා කළ ඛාන් මෙසේද සඳහන් කර තිබුණා.

“අප ඉන්දියාව ආදර්ශයට ගත යුතුයි. අපත් සමගම ඉන්දියාව නිදහස් වුණා. දැන් බලන්න ඔවුන්ගේ විදේශ ප්‍රතිපත්තිය දෙස. ඔවුන් නිදහස් ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. ඉන්දියාව එම ප්‍රතිපත්තියේ රැඳී සිටියා. ඔවුන් රුසියාවෙන් තෙල් මිලදී ගන්නා බව පවසමින් තීරණයක් ගත්තා.”

යුක්රේන යුද්ධය මධ්‍යයේ බටහිර රටවල පීඩනය හමුවේ පවා ඉන්දීය රජය රුසියානු තෙල් මිලදී ගැනීම සිය ජාතික අවශ්‍යතාවලට අනුකූලව සකස් කර ඇති ආකාරය පැසසුමට ලක් කරමින් ඉම්රාන් ඛාන් කියා සිටියේ, ඉන්දියාව සහ එක්සත් ජනපදය QUAD සංසදය තුළ මිත්‍ර පාක්ෂිකයන් වන නමුත් ඉන්දියාව සිය පුරවැසියන්ගේ යහපත සඳහා රුසියාවෙන් තෙල් මිලදී ගැනීමට තීරණය කර ඇති බවයි.

සිය නිදහසින් 75 වසරක් ගත වන විට, ඉන්දියාව ලොව බලවත්ම ආර්ථික 05 අතරට පැමිණ සිටින අතර, ලෝක බලවතුන් බහුතරය එක පසෙකටවී රුසියාව සමග යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් එදිරිවාදිකම් වර්ධනය කරගනිද්දී, ඉන්දියාව රුසියාවෙන් අඩු මිලට තෙල් සහ ගල්අඟුරු මිලදී ගැනීමට කටයුතු කරමින් සිටී.

ලබන දෙසැම්බර් 01වැනිදා ඉන්දියාවට G20 ලෝක බලවතුන්ගේ සංසදයේ නායකත්වය හිමිවන අතර, තවත් පසෙකින් යුක්රේන යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් මැදිහත්කරුවකු ලෙස ඉදිරිපත්වන ලෙස බටහිරින් ආරාධනා ලැබෙමින් පවතී.

අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රමුඛ ඇමතිවරයකු වන ඕමාර් සුල්තාන් අල් ඔලාමා මෑත කාලීන භූ දේශපාලනික ප්‍රබල සුළං අතර දක්ෂ ලෙස සැරිසැරීම සඳහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් මෙහෙයවනු ලබන ඉන්දීය රාජ්‍යතාන්ත්‍රිකභාවය දැඩි ලෙස ප්‍රශංසාවට ලක් කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබුණා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ සෞදි අරාබිය වැනි ගල්ෆ් රාජ්‍යයන් දිගු කලක් තිස්සේ ඔවුන්ගේ ආරක්ෂාව සඳහා එක්සත් ජනපදය මත විශ්වාසය තබා ඇති අතර එහෙත් ඉරානය සමඟ න්‍යෂ්ටික ගිවිසුම නැවත පණ ගැන්වීමේ එක්සත් ජනපද මෑත කාලීන පියවරයන් ගල්ෆ් අරාබිවරුන් අතර විශාල නොසන්සුන්තාවයක් ඇති කර තිබෙනවා.

යුක්රේනයේ යුද්ධය මධ්‍යයේ තෙල් වෙලඳපොලේ රුසියාව හුදකලා කිරීමේ ප්‍රශ්නය හේතුවෙන්ද මැදපෙරදිග රටවලට ඇමෙරිකාව සමග කටයුතු කිරීම දුෂ්කරවී ඇති අතර එමනිසා සාම්ප්‍රදායික ගෝලීය බලවතුන් වෙනුවට නව, නැගී එන ලෝක බලවතුන් කෙරෙහි මැදපෙරදිග රටවල වැඩි අවධානයක් යොමුවෙමින් පවතින බව විදෙස් විචාරකයන්ගේ අදහසයි.

මේ අතර පසුගිය සතියේ අන්තර්ජාතික රැස්වීමක් අමතමින් රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින්, ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තියට විශාල ප්‍රශංසාවක් සිදුකර තිබුණා.

රුසියාව, ඇත්ත වශයෙන්ම, එක්සත් ජනපදය සමඟ ඉන්දියාවේ ඇති ගැඹුරු සබඳතා ගැන එතරම් සතුටු නැති නමුත් එවැනි ප්‍රකාශයක් ද කර තිබෙනවා.

ඉන්දු-පැසිෆික් මූලෝපාය ප්‍රවර්ධනය කිරීම පිළිබඳව මිට පෙර රුසියානු විදේශ ඇමති සර්ජි ලැව්රොව් චෝදනා කර තිබුණා.

සියලු ද්විපාර්ශ්වික අර්බුද හමුවේ ඉන්දියාව මත මේ වන විට විශ්වාසය තැබීමට රුසියාව තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙන අතර ඊට හේතුවී ඇත්තේ රුසියානු-චීන සමීප සබඳතා නොසළකා හරිමින් සහ බටහිර සමග අඛණ්ඩව QUAD සංවිධානය හරහා ගෙනයන ගනුදෙනු අමතක කරමින් ඉන්දියාව තමන් සමග අත්‍යන්ත ද්විපාර්ශ්වික සබඳතා පැවැත්වීමට සුදානම් බවට රුසියාව අදහස් කර සිටීමයි.

කෙසේ වෙතත් එක්සත් ජනපදය සමඟ පවතින සිය සබඳතා නිර්වචනය කිරීමට ඉන්දියාව රුසියාවට ඉඩ ලබා නොදෙන අතර ඒ හා සමානව, රුසියාව සමඟ ඉන්දියාවේ සම්බන්ධ වීමේ ස්වභාවය සීමා කිරීමට එක්සත් ජනපදයට ඉඩ ලබා නොදීමටද සිදුවනවා,ම

පෙර පැවති ආණ්ඩු යටතේ, රුසියාව සහ චීනය සමග පවතින ද්විපාර්ශ්වික සබඳතා පළුදු වේයැයි බියෙන්, එක්සත් ජනපදය හා යුරෝපය සමග ඇති සබඳතා සීමා කිරීමට ඉන්දියාව බොහෝ විට පෙළඹී ඇති අතර මෝදි ආණ්ඩුව එම ආරක්‍ෂක මානසිකත්වයෙන් මිදී ඇති බවයි විදෙස් විචාරකයන් පෙන්වා දෙන්නේ.

2014 සිට දේශපාලන නිරවද්‍යතාවයට වඩා ජාතික අවශ්‍යතාවලට ප්‍රමුඛත්වය ලබාදීම ඔස්සේ ඉන්දියාවට බොහෝ උපායමාර්ගික ලාභ ලැබී ඇඇති අතර
ඒ අනුව ඉන්දියාවට, ගෝලීය උපාමාරු සඳහා වැඩි ඉඩක් ඇති බව වසර 08ක පමණ කලක සිට පැහැදිලිව පෙනෙන්නට පටන්ගෙන ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

තුන්වන විශාලතම ආරක්ෂක අයවැය සහිත සහ පස්වන විශාලතම ආර්ථිකය ලෙස, ඉන්දියාව වෙනස්වන බලවේගවල ගෝලීය අතර සහසම්බන්ධතාව සහ අඛණ්ඩව චලනය වන අන්තර්ජාතික පරිසරයට අනුවර්තනය වීමේ කුසලතාව පිළිබඳ නිදසුන් ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

Share This