Office එකට රෑ ඇඳුමෙන්?

Office එකට රෑ ඇඳුමෙන්?

චීනයේ කාර්යාලයක තරුණ කාර්ය මණ්ඩලය රාජකාරියට ගැළපෙන විධිමත් ඇඳුම් අතහැර රෑ ඇඳුමෙන් කාර්යාලයට පැමිණෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නව පරම්පරාවේ (Gen Z) කාර්ය මණ්ඩලය පවතින සම්ප්‍රදාය වෙනස් කරමින් සිටින බවයි නිව් යෝර්ක් පෝස්ට් පුවත්පත සඳහන් කරන්නේ.

මෙම ප්‍රවණතාවය කෙතරම් ජනප්‍රිය වී ඇත්දයත් තරුණ චීන සේවකයින් විසින් පැළඳ සිටින ඇඳුම් ප්‍රදර්ශනය කිරීමට සමාජ මාධ්‍ය තුළ ත්‍රෙඩ් (thread) එකක් “gross outfits at work” නමින් නිර්මාණය වී තිබෙනවා.

මෙම ඇඳුම්වලට සුව පහසු කලිසම්, නිදි ඇඳුම් සහ වෙනත් ප්‍රමාණයෙන් විශාල ඇඳුම් ඇතුළත් වන අතර ඒවා නින්දෙන් අවදි වූ අයුරින් කාර්යාලයට පැමිණ ඇති ලෙසයි දක්නට ලැබෙන්නේ.

හුබෙයි පළාතේ වුහාන් හි වාස්තු නිර්මාණකරුවෙකු ලෙස සේවය කරන 30 හැවිරිදි ලුඕ, නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතට පවසා ඇත්තේ කාර්යාලයට පමණක් ඇඳුම් වෙනුවෙන් මුදල් වියදම් කිරීම සුදුසු නොවන බවයි.

එමෙන්ම මෙම තරුණ සේවකයින්ට මෙලෙසින් අවිධිමත් ලෙස සැරසී රාජකාරියට පැමිණීමෙන් අවශ්‍ය වන්නේ ඇඳුම් ඔවුන්ගේ හැකියාවන් පිළිබිඹු නොවන බව ඔප්පු කිරීමයි.

කෙසේ වෙතත් චීන ජාතිකයින් පමණක් නොව, අමෙරිකාවේද නව පරම්පරාවේ තරුණ තරුණියන් මෙම ට්‍රෙන්ඩ් එකට අනුව ඔවුන්ගේ ඇඳුම් විලාසිතා වෙනස් කරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This