මාස 04ට විදෙස් රැකියා පැමිණිලි 1371ක්

මාස 04ට විදෙස් රැකියා පැමිණිලි 1371ක්

වසරේ ගතවූ මාස 4 ක කාලයේ දී විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය වෙත ලැබී ඇති බව වාර්තා වනවා.

කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා සඳහා බඳවා ගැනීම් සිදුකිරීම, වලංගු රැකියා ඇණවුමක් නොමැතිව විදේශ රැකියා ලබාදීම සඳහා මුදල් අය කිරීම, සංචාරක වීසා මගින් තැනැත්තන් විදේශ රැකියා සඳහා වෙත යොමුකිරීම ආදී පැමිණිලි කාර්යාංශය වෙත ලැබී ඇති බවයි සඳහන් වන්නේ.

මෙසේ කාර්යාංශය වෙත ලද පැමිණිලි අතුරින් පැමිණිලි 495ක් සඳහා විසඳුම් මෙම කාල සීමාවේදී ලබාදී තිබෙනවා.

පැමිණිලිකරුවන්ට පන්කෝටි පනස් තුන් ලක්‍ෂ නවදහස් පන්සිය විස්සක මුදලක් යළි අයකර දීමට ද විමර්ශන නිලධාරීන් සමත්වී ඇති බව සඳහන්.

තවත් පැමිණිලි 680ට අධික ප්‍රමාණයක් සඳහා වංචාකරුවන්ට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට ද කාර්යාංශය පියවර ගෙන තිබෙනවා.

මෙම කාලයේදී විදේශ රැකියා වංචාවන් සම්බන්ධයෙන් සැකකරුවන් 28 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව පවත්වාගෙන ගිය හා වලංගු රැකියා ඇණවුමක් ලබා නොගෙන විදේශ රැකියා සඳහා බඳවාගැනීම් සිදු කළ ආයතන 8ක් ද කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් වැටලීම් කළ බව සඳහන්.

කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය විසින් විදේශ රැකියා ජාවාරම් සම්බන්ධ වැටලීම් පුළුල් කර ඇති අතර කාර්යාංශයේ පැය 24 පුරා ක්‍රියාත්මක තොරතුරු මධ්‍යස්ථානය 1989 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ ඇමතීම මගින් විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි සිදු කිරීමේ හැකියාව පාතිනවා.

එමෙන්ම කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ දුරකථන අංකය වන 0112864118 ඇමතීම මගින් නීති විරෝධී විදේශ රැකියා ආයතන හා පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු ලබාදිය හැකියි.

Share This