සෞඛ්‍ය වෘත්තීය සමිති හෙට සිට යළි සටන අරඹයි

සෞඛ්‍ය වෘත්තීය සමිති හෙට සිට යළි සටන අරඹයි

වෛද්‍යවරුන්ට ලබාදුන් රු. 35,000ක ‘ඩැට්’ දීමනාව තමන්ටද ලබාදී ආර්ථික යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලමින් හෙට (09) සිට යළි පළාත් මට්ටමින් සියලු රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල වැඩ වර්ජන ආරම්භ කිරීමට සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබෙනවා.

මාස 04ක් පුරා මේ සම්බන්ධයෙන් රජයෙන් ඉල්ලීම් කළත් සෞඛ්‍ය අමාත්‍යාංශය සකස් කළ තාක්ෂණික වාර්තාවට අනුව දීමනාව ලබාදෙන බවට වූ ලිඛිත පොරොන්දුව ඉටු නොවීම හේතුවෙන් සෞඛ්‍ය වෘත්තීය සමිති 72කින් සැදුම් ලත් වෘත්තීය සමිති සන්ධානය ඊයේ (07) මෙම තීරණයට එළැඹි බවයි එහි සම කැඳවුම්කරු චානක ධර්මවික්‍රම සඳහන් කළේ.

ඒ අනුව හෙට උතුරු මැද පළාත් රෝහල්වලින් මෙම වැඩ වර්ජනය ආරම්භ කර 13දා මධ්‍යම පළාත, 14දා සබරගමු පළාත, 15දා වයඹ පළාත, 16දා දකුණු පළාත, 20 දා ඌව පළාත සහ 21 දා බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

මේ සඳහා තවදුරටත් නිසි ප්‍රතිචාර නොලැබෙන්නේ නම් මෙම මස 22 දා සිට නැවත දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයක නිරතවීමටද සිය සමිති සන්ධානය තීරණය කළ බවයි එහි කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා පවසන්නේ.

Share This