යුක්‍රේන යුද්ධයට ශ්‍රී ලංකිකයින් යවන ජාවාරම්කරුවන්ට අකුරටම නීතිය ක්‍රියාත්මක කරනවා

යුක්‍රේන යුද්ධයට ශ්‍රී ලංකිකයින් යවන ජාවාරම්කරුවන්ට අකුරටම නීතිය ක්‍රියාත්මක කරනවා

රුසියාවේ සහ යුක්‍රේනයේ හමුදා කඳවුරුවලට මෙරට හිටපු හමුදා භටයන් යොමු කිරීමේ ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් ආරම්භ කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ බුද්ධි අංශ ඒකාබද්ධව මෙම මෙහෙයුම ආරම්භ කර ඇති බවයි ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා සඳහන් කරන්නේ.

මෙම යුද පෙරමුණට කටයුතු කරමින් සිටියදී අප රණවිරුවන් සැලකිය යුතු ප්‍රමාණයක් මියගොස් ඇති බවත්, තවත් කොටසක් තුවාල ලබා ඇති බවටත් කරුණු අනාවරණය වී ඇති බවත් ඔහු සඳහන් කළා.

ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවන්හි ගෞරවාන්විතව සේවය කර විශ්‍රාම ගොස් ඇති මෙවන් රණවිරුවන් විදෙස් රටක කුලී හේවායන් ලෙස මෙලෙස කටයුතු කිරීමේ ප්‍රවණතාවයක් ඇති වීම කණගාටුවට කරුණක් වනවා.

විදෙස් හමුදාවට එක් කිරීම, විශාල වැටුපක් ලබාදීම, පුරවැසිභාවය හිමිගැන්වීම මෙන්ම තවත් විශාල ප්‍රතිලාභ ලබා දෙන බවට ජාවාරම්කරුවන් විසින් ලබා දෙන ලද ව්‍යාජ පොරොන්දුවලට අනුව රණවිරුවන් රුසියානු – යුක්‍රේන යුද පෙරමුණට කුලී හමුදා සාමාජිකයන් ලෙස යොමු කළද ඔවුන් වෙත කිසිදු වැටුපක්, එවැනි ප්‍රතිලාභයක් හෝ මියගිය හෝ තුවාල ලැබූ අයට වන්දි මුදල් ලබාදීමට මෙම ජාවාරම් කරුවන් කටයුතු කර නැති බවත් මෙහිදී කරුණු අනාවරණය වී තිබෙනවා.

ශ්‍රී ලාංකීය පුරවැසියන් වන මෙම රණවිරුවන් විදෙස් රටක කුලී හේවායින් ලෙස යොදා ගැනීමට කටයුතු කර වටිනා ජීවිත අනතුරට ලක්කිරීම ඉඩ තැබිය නොහැකි බව ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළා.

ඒ අනුව රටේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව, පොලීසිය සහ බුද්ධි අංශ එවැනි ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා මේ වන විට විශාල මෙහෙයුමක් දියත් කර ඇති අතර මේ වන විට එයට සම්බන්ධ ජාවාරම්කරුවන් කීහිපදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

එහිදී ඔවුන්ගෙන් හෙළිකරගන්නා තොරතුරුවලට අනුව ඉදිරි විමර්ශන ක්‍රියාත්මක කරමින් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බවයි ආරක්‍ෂක ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Share This