IMF නියෝජිතයන්ගෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ප්‍රශංසා

IMF නියෝජිතයන්ගෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ප්‍රශංසා

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ඇතුලු ශ්‍රී ලාංකික නියෝජිත පිරිස ඊයේ (15) අමෙරිකාවේ වොෂින්ටන් නුවර දී ආරම්භ වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ වසර මැද සමුළුව සඳහා සහභාගී වී තිබුණා.

එහිදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳ එහි නියෝජ්‍ය කළමනාකරණ අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා ඇතුළු පිරිසක් සමග අමාත්‍යවරයා සාකච්ඡාවල නිරත වී තිබෙනවා.

ශක්තිමත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ විශිෂ්ට ප්‍රතිසංස්කරණ ප්‍රගතිය පිළිබඳව ඔකමුරා මහතා ශ්‍රී ලංකා බලධාරීන්ට ප්‍රශංසා කර තිබෙන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ආරම්භයේ සිටම ශ්‍රී ලංකාව අත්විඳින ලද වෙහෙස මහන්සි වී උපයාගත් ජයග්‍රහණ ආරක්ෂා කරගනිමින් ශක්තිමත් හිමිකාරීත්වයක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාව පිළිබඳවද ඔකමුරා මහතා පැහැදිළි කර තිබෙනවා.

මෑතකාලීන සමාජ-ආර්ථික වර්ධනයන් යටතේ සිදු කරන ලද සාර්ව ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණවල අඛණ්ඩතාව සහ ස්ථාවරත්වය සහතික කිරීමට බලධාරීන්ගේ කැපවීම පිළිබඳවද මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා එහි බලධාරීන්ට පැහැදිළි කර තිබෙනවා.

එමෙන්ම අමාත්‍යවරයා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සඳහා IMF විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියන් හමුවී IMF වැඩසටහනේ 2 වැනි සමාලෝචනය අවසන් කිරීම සඳහා වන ඊළඟ පියවර පිළිබඳව ද සාකච්ඡා කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ලෝක බැංකුවේ විවිධ අභ්‍යන්තර ප්‍රතිව්‍යුහගත කිරීම් සහ මෙම වෙනස්කම් ශ්‍රී ලංකාව වැනි රටවලට ප්‍රයෝජන ගත හැකි ආකාරය පිළිබඳව ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ පරමේෂ්වරන් අයියර් මහතා සමඟ පැවති සාකච්ඡාවේදී අමාත්‍යවරයාට උපදෙස් ලැබී තිබෙනවා.

තවද රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ඇතුළු ශ්‍රී ලාංකික නියෝජිත පිරිස ජාත්‍යන්තර අවබෝධය සඳහා වූ ව්‍යාපාරික කවුන්සිලයේ රැස්වීමකට සහභාගී වී මෙරට ආර්ථික සංවර්ධනය පිළිබඳව සාකච්ඡා කර තිබෙන බව වාර්තා වනවා.

Share This