45 දෙනෙකුට මරු කැඳවමින් දකුණු අප්‍රිකාවේ බස් රථයක් පාලමකින් ඉවතට

45 දෙනෙකුට මරු කැඳවමින් දකුණු අප්‍රිකාවේ බස් රථයක් පාලමකින් ඉවතට

දකුණු අප්‍රිකාවේ ඊසානදිග ලිම්පෝපෝ පළාතේදී බස් රථය පාලමකින් මීටර් 50ක් පමණ දුරින් මිටියාවතකට පෙරළීමෙන් පුද්ගලයින් හතළිස් පස් දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම අනතුරින් බස් රථයේ සිටි අට හැවිරිදි දැරියක් බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇති බව සඳහන්.

බස් රථයේ සිටි මගීන් බොට්ස්වානා අගනුවර වන ගැබොරෝන් සිට මොරියා නගරයේ පාස්කු දේව මෙහෙයක් සඳහා ගමන් කරමින් සිටි බැතිමතුන් වනවා.

විදෙස් මාධ්‍යවලට අනුව මෙම බස් රථය පාලනය කර ගත නොහැකි වූ අතර ජොහැන්නස්බර්ග් සිට කිලෝමීටර් 300ක් උතුරින් Mokopane සහ Marken අතර Mmamatlakala කඳුකරයේ පාලමකින් ඉවතට ගොස් තිබෙනවා.

අනතුරින් විපතට පත් අය මුදා ගැනීම සඳහා ගලවා ගැනීමේ මෙහෙයුම් ඊයේ(28) සවස් වන තුරුම ක්‍රියාත්මක වූ බවයි වාර්තා වන්නේ.

සිද්ධිය වූ ස්ථානයට ගිය එරට ප්‍රවාහන අමාත්‍ය සින්දිසිවේ චිකුංගා මෙම ඛේදජනක බස් රථ අනතුරෙන් විපතට පත් පවුල්වලට සිය හෘදයාංගම ශෝකය පළ කළා.

ඒ අනුව දකුණු අප්‍රිකානු රජය විසින් අනතුරට හේතුව පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතයි.

Share This