වැලි කියුබික් මීටර මිලියන දෙකක් මුහුදෙන් ගන්න වෑයමක්

වැලි කියුබික් මීටර මිලියන දෙකක් මුහුදෙන් ගන්න වෑයමක්

මෙම වසරේදී මුහුදු වැලි කියුබික් මීටර මිලියන දෙකක ප්‍රමාණයක් ලබාගැනීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පවසනවා.

මෙහිදී සෝදා පිරිසිදුකර නියමිත ප්‍රමිතියට සකස්කරනු ලබන මුහුදු වැලි මහජනතාවට දැරිය හැකි මිලකට අලෙවි කරන ලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට උපදෙස් දුන් බවයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය සඳහන් කළේ.

මෙම මුහුදු වැලි කැණීමේ ව්‍යාපෘතිය හේතුවෙන් කොළඹ සිට මීගමුව දක්වා වන මුහුදු තීරයේ ජීවත් වන ධීවරයන්ට බලපෑම් සිදුවන බවට හඳුනාගෙන ඇති අතර එලෙස බලපෑමට ලක්වන ධීවර ප්‍රජාවගේ උන්නතිය සඳහා එම ධීවර ප්‍රදේශවල යටිතල පහසුකම් දියුණු කිරීමට අදාළව ධීවර සහ ජලඡ සම්පත් දෙපාර්තමේන්තුව සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා උපදෙස් දී තිබෙනවා.

මුතුරාජවෙල වෙරළේ සිට මීගමුව දක්වා වූ මුහුදු තීරයේ කිලෝමීටර 10 – 15ත් අතර දුරකින් වූ මුහුදේ සිට ගොඩබිමට මුහුදු වැලි පොම්ප කිරීම සිදුකරනු ලබනවා.

මුහුදේ සිට පොම්ප කරන වැලි ගොඩබිමට ගෙන ඒම, වැලි කඳු ලෙස විවෘත එළිමහනේ ගබඩා කිරීම, යන්ත්‍රයට වැලි ඇතුල් කිරීම, සේදීම, පිරිසිදු කිරිම, තේරීම සහ වේලීම යන අංශවලට යොමු කිරීම සිදු වනවා.

එලෙස සෝදා පිරිසිදුකර වියලා හලා ගන්නා ලවණ රහිත මුහුදු වැලි ඉංජිනේරුවන්ගේ අධීක්ෂණය මත නියමිත ප්‍රමිතියට සකස් කරන අතර අනතුරුව එම මුහුදු වැලි කෙරවළපිටිය – මුතුරාජවෙල වැලි විකුණුම් මධ්‍යස්ථානයෙන් අලෙවි කිරීමට නියමිතයි.

Share This