වතුපාසල් සඳහා ගුරු සහයක පත්වීම් 2,535ක්

වතුපාසල් සඳහා ගුරු සහයක පත්වීම් 2,535ක්

ඉදිරි සති කිහිපය ඇතුළත වතු පාසල් සඳහා ගුරු සහයකින් 2,535 ක් සඳහා අයදුම්පත් කැඳවීමට අදාළ ගැසට් නිවේදනය පළ කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

ඒ අනුව, ලබන මැයි මාසය වන විට එම පිරිස බඳවා ගැනීමට සහ මූලික පුහුණුවක් ලබා දී පාසල් වෙත යොමු කිරීමට බලාපොරොතු වන බවයි ඔහු පැවසුවේ.

ස්ථාවර විසඳුම් ලබාදීම අභියෝගයක් වන අවස්ථාවලදී විකල්ප විසඳුම් තුළින් හෝ අධ්‍යාපන පද්ධතිය අඛණ්ඩව පවත්වා ගෙන යාම තම අපේක්ෂාව බව ද ඔහු පැවසුවා.

එමෙන්ම, වතු පාසල්වල විශාල ගුරු හිඟයක් තවමත් පවත්නා බවත් අධ්‍යාපන විද්‍යාපීඨ වලට පවා සුදුසුකම් සපුරන සිසුන් ඉතා අඩු බවත් උපාධිධාරීන් සිටින්නේද අතලොස්සක් බවත් අමාත්‍යවරයා සඳහන් කළා

ඒ, සඳහා විසඳුම් වශයෙන් දැනට ඌව සහ මධ්‍යම පළාතේ සිටින උපාධිධාරීන් වෙත ගුරු පත්වීම් ලබාදීමට පියවර ගන්නා ලෙස ද අදාළ පළාත් බලධාරීන්ට දැනුම් දී ඇති බව සඳහන්.

මීට අමතරව, ගුරු සේවා ව්‍යවස්ථාව අනුව සුදුසුකම් ඇති ගුරු සහායකයින් පන්සියයක් බඳවා ගැනීමට රාජ්‍ය සේවා කොමිසන් සභාවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට අවසර ලබා දී ඇති බවත් ඔවුන් වසර තුනක් ඇතුළත ගුරු මධ්‍යස්ථාන මගින් ඩිප්ලෝමා මට්ටමින් පුහුණු කර පාසල් වෙත යොමු කිරීමට කටයුතු යොදන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා

Share This