නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස්වරයෙක් අක්තපත්‍ර භාරදෙයි

නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස්වරයෙක් අක්තපත්‍ර භාරදෙයි

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස්වරයෙක් අද (22) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සිය අක්තපත්‍ර භාර දී තිබෙනවා.

නවසීලන්ත මහ කොමසාරිස්වරයා ලෙස මයිකල් එඩ්වඩ් ඇපල්ටන් (Michael Edward Appleton) සහ කියුබානු ජනරජයේ තානාපතිවරයා ලෙස අන්ද්‍රෙස් මාර්සෙලෝ ගරීඩෝ (Andres Marcelo Garrido) මහත්වරු පත්ව සිටිනවා.

ඉන්දියාවේ පිහිටි නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලය මගින් ශ්‍රී ලංකාවට අදාළ කටයුතු මෙතෙක් සම්බන්ධීකරණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පුළුල් කෙරෙමින් අභිනවයෙන් මෙරට ස්ථාපිත කෙරෙන නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලයේ, පළමු මහ කොමසාරිස්වරයා ලෙස කටයුතු කිරීමට ලැබීම සතුටට කරුණක් බව මයිකල් එඩ්වඩ් ඇපල්ටන් මහතා සඳහන් කර තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේදී කියුබාව මෙරටට ලබාදෙන සහාය ජනාධිපතිවරයාගේ ප්‍රශංසාවට ලක්වුණා.

ශ්‍රී ලංකාව සහ සිය රටවල් අතර දිගුකාලීන සබඳතා නව ක්ෂේත්‍ර ඔස්සේ වර්ධනය කරගැනීමට කැපවන බව ඔවුන් ජනාධිපතිවරයා සමග ප්‍රකාශ කර තිබෙනවා.

කොවිඩ් පැතිර යාම ආරම්භයේ සිටම රජයක් ලෙස ගත් ක්‍රියාමාර්ග, එන්නත්කරණය සම්බන්ධයෙන් ලබාගෙන ඇති ප්‍රගතිය පිළිබඳ ජනාධිපතිවරයා නව තානාපතිවරුන් දැනුවත් කළ බවද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.

දේශගුණික විපර්යාසයන්ට සියලු රටවල් එක්ව මුහුණ දීමේ අවශ්‍යතාවත්, කාර්ය සාධක බලකායක් පිහිටුවමින් විධිමත් සැලැස්මක් යටතේ රටක් ලෙස ඒ වෙනුවෙන් ගෙන ඇති සැලසුම් ජනාධිපතිවරයා පැහැදිලි කරතිබෙනවා.

කාබනික පොහොර භාවිතයට යොමු වීම, 2030 වන විට මෙරට බලශක්ති අවශ්‍යතාවයෙන් ඉහළ ප්‍රතිශතයක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ලබාගැනීමට ගෙන ඇති පියවර, ජනාධිපතිවරයා විසින් පෙන්වා දී තිබෙනවා.

මානුෂීය මෙහෙයුමෙන් පසු උතුරු – නැගෙනහිර ප්‍රදේශවල සිදුකර ඇති දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ එම ප්‍රදේශවල සංචාරය කිරීමෙන් අවබෝධ කරගත හැකි බව ජනාධිපතිතුමා තානාපතිවරුන්ට පෙන්වා දුන් බවද අදාල නිවේදනයේ සඳහන්.

Share This