ට්‍රම්ප් ලබන අඟහරුවාදා  අත්අඩංගුවට?

ට්‍රම්ප් ලබන අඟහරුවාදා අත්අඩංගුවට?

හිටපු අසභ්‍ය චිත්‍රපට තරුවකට මුදල් ගෙවා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තමන්ව අඟහරුවාදා අත්අඩංගුවට ගන්නා බවට අපේක්ෂා කරන බව හිටපු ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ට්‍රම්ප් මහතා ඔහුගේ සමාජ මාධ්‍යවල සටහනක් මගින් එවැනි පියවරකට විරෝධය පළ කරන ලෙස ඔහුගේ ආධාරකරුවන්ගෙන් ඉල්ලා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ට්‍රම්ප් මහතාගේ නීතීඥයෙකු පැවසුවේ මාධ්‍ය වාර්තා වලට සහ හිටපු ජනාධිපතිවරයා ලබාදෙන ප්‍රකාශය මත පදනම්ව ඔහුට අධිචෝදනා ගොනු කළ හැකි බවයි.

ට්‍රම්ප් මහතාට අධිචෝදනා ගොනු කළහොත් එය හිටපු අමෙරිකානු ජනාධිපතිවරයකුට එරෙහිව පනවන පළමු අපරාධ නඩුව වනු බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

එය 2024 ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් අපේක්ෂකයා වීමට ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයට බරපතල ප්‍රතිවිපාක ඇති කරනවා.

2016 ජනාධිපතිවරණයට පෙර හිටපු අසභ්‍ය චිත්‍රපට තරුවක් වන ස්ටෝමි ඩැනියෙල්ස් වෙත ට්‍රම්ප් මුදල් ගෙවා ඇති බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් නිව්යෝර්ක් හි අධිකරණ නිලධාරීන් වසර පහක් තිස්සේ විමර්ශනය කරමින් සිටිනවා.

ඩැනියෙල්ස් මහත්මිය පවසන්නේ 2016 මැතිවරණයට පෙර ට්‍රම්ප්ගේ හිටපු නීතිවේදී මයිකල් කොහෙන් විසින් ඇයට ඩොලර් 130,000 ගෙවා පසුගිය සිදුවීම් සම්බන්ධයෙන් නිහඬ වන ලෙස දන්වා ඇති බවයි.

ට්‍රම්ප් මහතා සිය සමාජ ජාල වෙබ් අඩවිය වන Truth Social’හි සඳහන් කර ඇත්තේ Manhattan දිස්ත්‍රික් නීතිපති කාර්යාලයෙන් ලැබුණු ආරංචි මාර්ගවලට අනුව අඟහරුවාදා ඔහුව අත්අඩංගුවට ගන්නා බවට පෙනීයන බවයි.

දිස්ත්‍රික් නීතීඥ කාර්යාලය තවමත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වා නොමැති අතර ට්‍රම්ප් මහතාගේ නීතීඥ සුසාන් නෙචෙල්ස් පැවසුවේ මෙය දේශපාලන නඩු පැවරීමක් බැවින්, දිස්ත්‍රික් නීතිපති කාර්යාලය සාමාන්‍ය නඩුවකදී සිදු කරන ආකාරයට ජනාධිපති ට්‍රම්ප්ගේ නීතිඥයින් සමඟ සන්නිවේදනය කරනවාට වඩා සියල්ල පුවත්පත්වලට ලබාදෙන බවයි.

මෙම මස මුලදී, ට්‍රම්ප් මහතාට මහා ජූරි සභාවකට සාක්ෂි දීමට ආරාධනා කරන විට ස්ටෝමි ඩැනියෙල්ස් නඩුව ප්‍රගතියක් ලබන බවට ලකුණු පහළ වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ වනවිට නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් හිටපු ජනාධිපතිවරයකු උසාවියට ​​ගෙන ඒමේ ප්‍රායෝගික කරුණු, හා ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්න සලකා බලමින් සිටින බවයි Associated Press වාර්තා කරන්නේ.

Share This