හෙට ඇරඹෙන පාසල්

හෙට ඇරඹෙන පාසල්

පළමු අදියර යටතේ ළමුන් 200ට අඩු පාසල්වල පළමුවන ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා ප්‍රාථමික අංශ හෙට යළි විවෘත කිරීමට නියමිතයි.

ඒ අනුව දිවයින පුරා ළමුන් 200ට අඩු පාසල් 3800ක් පමණ හෙට සිට විවෘත වන බවයි අධ්‍යාපනඅමාත්‍යංශය සඳහන් කළේ.

පාසල් විවෘත කිරීමේ පළමු අදියරේ ප්‍රගතිය මත සෙසු අදියරයන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තීරණය කිරීමට නියමිතයි.

අදියර හතරක් යටතේ පාසල් ආරම්භ වන ආකාරය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්යය කපිල පෙරේරා මහතා මෙලෙස අදහස් දැක්වුවා.

“2021.10.21 වන දින නැවත කොවිඩ් සංචරණ සීමා ඉවත්කර සෞඛ්‍ය නිර්දේශ මත අදියර 4ක් යටතේ, පාසල් ආරම්භ කිරීමට සෞඛ්‍ය නිර්දේශ ලැබිලා තියෙනවා. ලංකාවේ තියෙන සමස්ත සිසුන් සංඛ්‍යාව 200ට අඩු පාසල්වල 1 – 5 ශ්‍රේණි විවෘත වෙන්නේ. ඊට පස්සේ දෙවැනි අදියරේ දී 200ට වැඩි පාසල්වල 1 – 5 ශ්‍රේණි සහ සමස්ත සිසුන් සංඛ්‍යාව 100ට අඩු පාසල්වල සියලුම ශ්‍රේණි තුන්වන අදියරේ 10, 11, 12 සහ 13 ශ්‍රේණි විවෘත වෙනවා. හතරවන අදියරේ සියලුම පාසල්වල සියලුම ශ්‍රේණිවල පාසල් විවෘත වෙනවා. හැබැයි සියලුම ශ්‍රේණි විවෘත කිරීමේ දී අධ්‍යාපන අමාත්‍යාංශය නිර්ණායක දීලා තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ අනුව එක පන්තියක සිසුන් සංඛ්‍යාව 20ට අඩු නම් සතියේ හැමදාම ගෙන්නන්න පුළුවන්. 20 – 40ත් අතර නම් පන්තිය දෙකට බෙදලා දවසක් හැර දවසක් හෝ සතියක් එක කණ්ඩායමක් අනෙක් සතියේ අනෙක් කණ්ඩායම ඊට පස්සේ 40ට වැඩි නම් ඒක තුනකට බෙදලා තමයි ගෙන්වන්නේ. “

මේ අතර පාසල් නොපැමිණෙන වයඹ පළාතේ ගුරුවරු සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙසට පළාත් කලාප අධ්‍යක්ෂවරුන්ට දැනුම් දුන් බව පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ ප්‍රකාශ කළා.

පාසල් නොපැමිණෙන වයඹ පළාතේ ගුරුවරුන්ගේ නොවැම්බර් මාසයේ වැටුප සම්බන්ධයෙන්ද තීරණයක් ගැනීමට සිදු වන බවයි ඔහු කියා සිටියේ.

කෙසේවෙතත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් කියා සිටියේ, හෙට සහ අනිද්දා දෙදින පාසල් වෙත පැමිණීමෙන් වැළකී සිටින බවයි.

 

Share This