ශානි ඇප ඉල්ලූ පෙත්සම් විභාගයෙන් විනිසුරැවරියක් ඉවත්වෙයි

ශානි ඇප ඉල්ලූ පෙත්සම් විභාගයෙන් විනිසුරැවරියක් ඉවත්වෙයි

රිමාන්ඩ් භාරයේ පසුවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු උප පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් යන මහත්වරුන් ඇප මත මුදා හරින්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ගම්පහ මහාධිකරණය දුන් තීන්දුව බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම් විභාගයෙන් තමන් ඉවත් වන බව අභියාචනාධිකරණ විනිසුරු මේනකා ⁣විජේසුන්දර මහත්මිය අද විවෘත අධිකරණය හමුවේ දැනුම් දුන්නා.

එම ප්‍රතිශෝධන පෙත්සම සලකා බැලීම සඳහා අද මේනකා විජේසුන්දර මෙනවිය සහ නීල් ඉද්දවෙල යන මහතා ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අතර එහිදී එම විනිසුරුවරිය මෙම පෙත්සම් විභාගයෙන් ඉවත් වන බව දැනුම් දුන්නා.

ඒ අනුව නැවතත් මෙම ප්‍රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා වෙත යොමු කිරීමෙන් අනතුරුව පෙත්සම සලකා බැලීම සදහා නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්.ගුරුසිංහ මහත්වරුන් ගෙන් සමන්විත නව විනිසුරු මඩුල්ලක් නම් කරනු ලැබුවා.

ඒ අනුව ශානි අබේසේකර සහ සුගත් මෙන්ඩිස් යන මහත්වරුන් ඇප ඉල්ලා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම් මාර්තු 01 වැනිදා එම නව විනිසුරු මඩුල්ල හමුවේ කැඳවීමට ද අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා නියම කළ බවයි අප අධිකරණ වාර්තාකරැ පැවසුවේ.

Share This