යුද්ධයෙන් අවතැන්වූවන් රඳවා සිටින සුබසාධන කඳවුරු වසා දැමීමේ සුදානමක්

යුද්ධයෙන් අවතැන්වූවන් රඳවා සිටින සුබසාධන කඳවුරු වසා දැමීමේ සුදානමක්

එල්.ටී.ටී.ඊ යුධමය තත්ත්වය හේතුවෙන් උතුරු හා නැගෙනහිර පළාත්වල අවතැන්ව සිටි පවුල් 273,498 න් පවුල් 271,171ක් මේ වනවිට නැවත එම ප්‍රදේශවලම පදිංචි කර අවසන් බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ නැවත පදිංචි කිරීමේ අංශය පවසනවා.

එම අංශයේ වාර්තා අනුව තවදුරටත් උතුරු හා නැගෙනහිර පළාත්වල පදිංචි කිරීමට ඇත්තේ පවුල් 2,327ක් පමණයි.

ඒ අනුව අවතැන්වූවන් සියලුම දෙනාට කඩිනමින් නිවාස ලබාදී ඔවුන් රඳවා සිටින සුබසාධන කඳවුරු වසා දැමීමටයි එම අමාත්‍යාංශය පියවර ගෙන ඇත්තේ.

දැනට පදිංචි කිරීමට ඇති පවුල් 2,327න් පවුල් 152ක් අවතැන්වූවන් ජීවත්වන සුබසාධන මධ්‍යස්ථානවල ජීවත්වන අතර ඉතිරි පවුල් 2,175 අවතැන්වූවන් ජීවත්වන සුබසාධන මධ්‍යස්ථානවලට ඇතුළත් නොවී නෑදෑ හිතවතුන් සමඟ ජීවත්වන බවද සඳහන්.

යුද්ධයෙන් අවතැන්ව සරණාගතභාවය පතා ඉන්දියාවට ගොස් සිට මෙරටට පැමිණෙන පවුල්වලට හා අවතැන්ව මෙරට රැඳී සිටි පවුල්වල මූලික අවශ්‍යතා සපුරා ගැනීමට රජය මගින් රුපියල් 38,000 ක ආධාර මුදලක් ලබාදෙනු ඇති.

ඉඩමක් ඇති පුද්ගලයන්ට තාවකාලිකව නිවසක් ඉදිකර ගැනීමට රුපියල් 25,000ක්, ඉඩම ශුද්ධ කර ගැනීමට රුපියල් 5,000ක්, අවශ්‍ය උපකරණ මිලදී ගැනීමට රුපියල් 3,000ක් හා ආහාර නොවන අනෙකුත් ද්‍රව්‍ය මිලදී ගැනීමට රුපියල් 5,000ක් වශයෙනුයි එම ආධාර මුදල් ලබාදෙන්නේ.

උතුරු හා නැගෙනහිර පළාත්වල අවතැන් පුද්ගලයන් සඳහා නිවාස ලබාදෙනු ලබන්නේ ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිර්දේශය මතවන අතර එහිදී නිවාස ලබාදෙන්නේ මුල් පවුල් සඳහා පමණක් බවයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය ප්‍රකාශ කළේ.

ඒ අනුව අවතැන්වූවන් සඳහා නිවාස 148,848 ක් ඉදිකර ඇති බවත් රජය මගින් මෙන්ම ඉන්දියානු අධාර හා රාජ්‍ය නොවන සංවිධානවල ආධාර මගින් මෙම නිවාස ඉදිකර ඇති බවත් සඳහන්.

 

Share This