පොලු තියා ‘ඇටත්’ නැති කරගනී

පොලු තියා ‘ඇටත්’ නැති කරගනී

2019 වසරේ සිට පොහොර සමාගම්වලට රසායනික පොහොර සඳහා රුපියල් මිලියන 29,000ක් හා කාබනික පොහොර සඳහා රුපියල් මිලියන 5000ක් ගෙවීමට ඇතැයි කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කළ ප්‍රකාශයක් මේ වනවිට වඩාත් කතාබහට ලක්ව තිබෙනවා.

ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීම සඳහා පසුගිය සිකුරාදා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බෝග නායකයින් ( Crop Leaders) හමුවී ඉදිරියේ දී ආහාර බෝග වගාව මුහුණ දෙන ගැටළු සම්බන්ධව කරුණු විමසූ අතර එහිදී ඇමතිවරයා මේ බව සඳහන් කර තිබුණා.

බඩඉරිගු, මිරිස්, කව්පි, මුං ඇට, තල, දේශීය අල බෝග, ලොකු ලූණු, උඳු, රතු ලූණු, කුරක්කන්, සෝයා හා අර්තාපල් යන ආහාර බෝග 13 සඳහා බෝග නායකයින් පත් කර ඇති අතර ඔවුන් විසින් දිවයින පුරා ඒ ඒ ප්‍රදේශවලට සුදුසු බෝග වර්ග පිළිබඳ අධ්‍යයනය කරමින් එම ආහාර බෝග වගාවන් ප්‍රවර්ධනය කරනු ලබන බවයි අමාත්‍යංශය සඳහන් කරන්නේ.

මෙම සාකච්ඡාවේදී බෝග නායකයින් පෙන්වා දී ඇත්තේ ආහාර බෝග වගාව සඳහා අවශ්‍ය රසායනික පොහොර, කෘමි නාශයක හා වල් නාශක නොමැතිකම නිසා අස්වනු අවම වීමත් , ගොවි උනන්දුව පිරිහීමත් බලපෑම් එල්ල කර ඇති බවයි.

කෙසේ වුවද මේ වනවිට වගාවට අවශ්‍ය පොහොර මිල දී ගැනීම සඳහා අවශ්‍ය මුදල් නොමැති බව පෙන්වා දුන් අමාත්‍යවරයා 2019 සිට මේ දක්වා ඇතැම් පොහොර සමාගම් වලට රසායනික පොහොර සඳහා රුපියල් මිලියන 29,000ක් ද , කාබනික පොහොර සඳහා රුපියල් මිලියන 5000ක් ද වශයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් හිඟ මුදල් ගෙවීමට ඇති බව සඳහන් කර තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරියේ දී ඉදිරිපත් කරන අයවැය මගින් එම මුදල් ගෙවීමට පියවර ගන්නා බව ත් ඇමති අමරවීර සඳහන් කර තිබුණා.

යල කන්නයේ අස්වැන්න සියයට 50ක් දක්වා අඩු විය හැකි බවත්, එහෙත් මීලඟ මහ කන්නයේ සිට හිඟයකින් තොරව රසායනික පොහොර, කෘමි නාශක හා වල් නාශක ලබා දීමට කටයුතු කිරීම තම ඉළක්කය බවත් ඔහු පෙන්වා දී තිබෙනවා.

එමෙන්ම මෙවර යල කන්නය තුළ බිත්තර වී වගාව සිදු නොකළහොත් ඉදිරි මහ කන්නයේ දී විශාල බිත්තර වී හිඟයකට පවා මුහුණ දීමට සිදුවන බවයි එහිදී අනාවරණය වී තිබුණේ.

එමනිසා බිත්තර වී වගා කරන ගොවීන් සඳහා අවශ්‍ය පොහොර කඩිනමින් නිකුත් කිරීමට පුද්ගලික අංශය සමග සාකච්ඡා කර වැඩ පිළිවෙළක් සකස් කර ඇති බව ද එහිදී සඳහන් කළත් අරලියගහ මැදුරේ පැවති සාකච්ඡාවක දී බොහෝ වගාවන් සඳහා බීජ මෙරට නොමැති බව හෙළිව ඇති බවයි liveat8.lk වෙබ් අඩවියට වාර්තා වුණේ.

විදේශ විනිමය හිඟයද ඊට බලපා ඇති බවයි එහිදී අනාවරණය වී ඇත්තේ.

එම සාකච්ඡාවට කෘෂිකර්ම කමිටුවේ සභාපති අකිල විරාජ් කාරියවසම් සහ අමාත්‍යංශ නිලධාරීන් ද සහභාගී වී සිටි බව වාර්තා වනවා.

Share This