පොල් හා පොල් තෙල් මිල ඉහළට?

පොල් හා පොල් තෙල් මිල ඉහළට?

පොල් හා පොල් තෙල් මිල ඉහළයාමේ අවධානමක් ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසනවා.

වාර්ෂික පොල් අස්වැන්න සමග සැසඳීමේදී මෙරට සමස්ත පොල් හිඟය පොල් ගෙඩි බිලියන 1.9 ක් බවයි ඔවුන් සඳහන් කරන්නේ.

එම නිසා මෙම බිලියන 1.9 ක් වූ පොල් ගෙඩි හිඟය රජය විසින් නිසිලෙස කළමණාකරණය නොකරන්නේ නම් දේශීය පොල් හා පොල් තෙල් මිල ඉහළයාමේ අවධානමක් ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පෙන්වා දෙනවා.

ඒ සම්බන්ධයෙන් දක්වමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය නිකුත් කළ නිවේදනය පහතින්..

පොල් හා පොල් තෙල් මිල ඉහළයාමේ අවධානමක්.

වාර්ෂික පොල් අස්වැන්න පොල් ගෙඩි බිලියන 3 ක් වන අතර මෙරට පොල් අවශ්‍යතාවය වන්නේ පොල් ගෙඩි බිලියන 4.9 කි. එයින් ගෘහස්ත පරිභෝජනය සදහා නැතිනම් මාලු පොල් සදහා ගෙඩි බිලියන 1.8 ක් අවශ්‍ය වන අතර පොල් තෙල් නිෂ්පාදනය සදහා ගෙඩි බිලියන 1.8 ක් අවශ්‍යවේ. අපනයනය සදහා අවශ්‍ය පොල් ගෙඩි සංඛ්‍යාව බිලියන 1.3 කි.වාර්ෂික පොල් අස්වැන්න සමග සැසදීමේදී මෙරට සමස්ත පොල් හිගය ගෙඩි බිලියන 1.9 කි.

බිලියන 1.9 ක් වූ මෙම පොල් ගෙඩි හිගය රජය විසින් නිසි ලෙස කළමණාකරණය නොකරන්නේ නම් දේශීය පොල් හා පොල් තෙල් මිල ඉහළයාමේ අවධානමක් ඇත. ගිය වසරේද මෙම තත්වය මත දේශිය පොල්

හා පොල්තෙල් මිල ඉහළගිය අතර අප විසින් ඒ පිළිබදව ඊට පෙර රජය දැනුවත් කරන ලදී. නමුත් ඒ අවස්ථාවේදී රජය විසින් ගත් අනුවණ තීරණ නිසා මෙරට පාරිභෝගකියින්හට පොල් හා පොල් තෙල් මිලදී ගැනීමට සිදුවූයේ අධික මිලකටය.
කෙසේ වෙතත් මෙම අවස්ථාවේදී රජය විසින් මෙම තත්වය නිසි ලෙස කළමණාකරනය කරන්නේ නම් පොල් හා පොල් තෙල් පාරිභෝගිකයින්ට සාධාරණයක් ඉටුකරන ගමන් මෙරටේ අපනයන ආදායම ඉහළ නංවාගත හැක.

ගෘහස්ත පරිභෝජනය සදහා අවශ්‍ය පොල් ගෙඩි සංඛ්‍යාව වන බිලියන 1.8 ක ප්‍රමාණය මෙරට පොල් අස්වැන්නෙන් අනිවාර්යෙන්ම ලබා ගතයුතු වන අතර එසේ කිරීමට සිදුවන්නේ ශාක නිරෝධායන නීතිය අනුව මෙරටට පොල් ආනයනය කිරීම කිසිසේත්ම කල නොහැකි බැවිනි. සහල් හිග අවස්ථාවේදී රජය මෙරටට සහල් හිගය පියවීම සදහා සහල් ආනයනය කිරීමට කටයුතු කලද මෙරටට පොල් ආනයනය කල නොහැක. තවද මෙරට තිබෙන ඩොලර් අර්බුදය හේතු කොටගෙන පොල් ආශ්‍රිත අපනයන සදහා අවශ්‍ය වන පොල් ගෙඩි බිලියන 1.3 ක ප්‍රමාණය අඩු කිරීම කිසිසේත්ම කල නොහැක. එසේ නම් රජයට කළ හැකිවන්නේ මෙරට පොල්තෙල් පරිභෝජනය කළමනාකරණය කිරීම වන අතර මෙරට පොල් තෙල් පරිභෝජනය මෙට්රික් ටොන් 240000 කි.

ඔක්තෝබර් හා නොවැම්බර් පොල් අස්වැන්න සාමාන්‍යයෙන් ආරක්ෂිත ‌ තොග වශයෙන් පවතින අතර එම පොල් අස්වැන්න සෑම වසරකම ජනවාරි පෙබරවාරි හා මාර්තු මාසයේ වෙළද පොලට පැමිණෙන අතර එසේ වන්නේ ජනවාරි පෙබරවාරි හා මාර්තු මාසවල මෙරට පොල් අස්වැන්න අඩුවන බැවිනි.මෙම අවස්ථවේදී පොල් තෙල් කර්මාන්ත කරුවන් විසින් ඔක්තෝබර් හා නොවැම්බර් පොල් අස්වැන්න පොල් තෙල් කර්මාන්තය සදහා වැඩි මිලකට මිලදී ගැනීම තුළ පෙබරවාරි මාසය වන විට මෙරට පොල් ගෙඩියක මිල රුපියල් 120.00- 130.00 ක මිලක් දක්වා ඉහළ යෑමට නියමිත අතර පොල් තෙල් බෝතලයක් රුපියල් 700.00-800.00 ක් වනු ඇත.

එම තත්වය කළමණාකරනය කිරීමට නම් ආනයනින පොල් තෙල් සදහා දැනට පනවා තිබෙන රුපියල් 125 ක බදු මුදල සංශෝධනය කළයුතු අතර එසේ කිරීම තුළින් ලෝක වෙළදපොලේ පොල් තෙල් මිල ඉහළයාම කළමණාකාරණය කර ගැනීමට මෙරට පොල් තෙල් ආනයනික සමාගම්වලට හැකිවනු ඇත. එසේ නොකරන්නේ නම් ඒ නිසාම මෙරට පොල් තෙල් මිල ඉහළයෑම වැලැක්විය නොහැකි වනු ඇත.

ශ්‍රී ලංකාව පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කිරීමෙන් ඇමරිකානු ඩොලර් මිලියන 900 ක පමණ ආදායමක් ලබන බැවින් පොල් තෙල් ආනයනය සදහා සාමාන්‍යයෙන් වැයකරන ඇමරිකානු ඩොලර් මිලියන 200 ක මුදල ගැටලුවක් නොවනු ඇත. පොල්තෙල් ආනයනය නොකළහොත් පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් දැනට ලබා ගන්නා ඇමරිකානු ඩොලර් මිලියන 900 ක මුදල අඩුවනවා පමණක් නොව දේශිය පොල් හා පොල් තෙල් මිලද ඉහළයන නිසා රජය මේ පිළිබදව සිය අවධානය යොමු කල යුතුය.

රජය විසින් මෙම අවස්ථාවේ පාම් තෙල් සදහා වැඩි බදු මුදලක් නියම කිරීම මගින් පොල් තෙල් සදහා පාම්තෙල් කලවම් කිරීමට කූට වෙළදුන්ට අවස්ථාවක් නොමැති වීම හොද තත්වයක් වන අතර තවදුරටත් පාම්තෙල් සදහා වැඩි බදු මුදලක් පවත්වාගෙන යාම කළයුතුය.
මෙම තත්වය පිළිබදව සළකා බලා පොල් මිල හා පොල් තෙල් මිල වැඩි වීම වලක්වා ගැනීම සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අප රජයෙන් ඉල්ලා සිටිමු.

මීට විශ්වාසී,

රංජිත් විතානගේ – සභාපති

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Share This