කොවිඩ් වසංගතය හමුවේ දිවි නසා ගන්නා ස්ත්‍රීන්

කොවිඩ් වසංගතය හමුවේ දිවි නසා ගන්නා ස්ත්‍රීන්

ලෝකයේ වෙනත් කිසිදු රටකට වඩා නිරවද්‍යව සහ කඩිනමින් දිවි නසා ගැනීම් පිළිබඳ තොරතුරු වාර්තා කරන්නේ ජපානයයි.

සෑම මසකම අවසානයේ දී ඔවුන් ඒ පිළිබඳ දත්ත යාවත්කාලීන කරනවා. වෙනත් බොහෝ රටවල එවැන්නක් දැකිය නොහැකිය. කොවිඩ් වසංගත සමය ඇතුළත ලැබී ඇති දත්තවලින් කියැවෙන කතාන්තරය සිත කලබල කරවන සුළුය.

2020 දී ජපානයේ දිවිනසා ගැනීම් ප්‍රමාණය ඉහළ ගොස් තිබෙනවා. ජපානයෙන් එවැනි තත්ත්වයක් වාර්තා වූයේ වසර 11කට පසුව ප්‍රථම වතාවටය.

ජපානයේ නවතම දත්ත විශ්ලේෂණය කර බලද්දී වඩාත් පුදුමය දනවන කාරණයක් වන්නේ දිවි නසාගත් පුරුෂයන්ගේ ගණන තරමක් පහළ බැස තිබිය දී, දිවිනසාගත් කාන්තාවන්ගේ ගණන 15%කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ යාමය.

මේ වසරේ ඔක්තෝම්බර් මාසය ඇතුළත පමණක් සිදුවී ඇති කාන්තා දිවිනසා ගැනීම් ප්‍රමාණය, පසුගිය වසරේ ඔක්තෝම්බරයේ සිදුවූ කාන්තා දිවිනසා ගැනීම් සමඟ සංසන්දනය කළහොත් එය 70%කට අධික ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව පෙනී යනවා.

මායි සුගනුමා, ලාභ නොලබන සංවිධානයක පර්යේෂණ නිලධාරිනියකි. ඇයගේ පියා දිවි නසාගෙන ඇත්තේ ඇය භද්‍ර යෞවනයේ සිටියදීය. දිවි හානි කරගත් පුද්ගලයන් නිසා අසරණ වූ පවුල්වලට දැන් ඇය පිහිට වන්නීය.

මෙම වසංගත සමය තුළ යමෙකු දිවි නසා ගත්විට ඔහුගේ හෝ ඇයගේ පවුලේ සාමාජිකයන් තවදුරටත් දුෂ්කර තත්ත්වයකට ඇද වැටෙති.

“එවැනි පවුල්වල ඥාතීන්ට මම කතා කරන කොට තේරෙන දෙයක් තමයි, තමන් ආදරය කළ ඒ පුද්ගලයාගේ ජීවිතය බේරාගන්න ඔවුන්ට නොහැකිවීම පිළිබඳ හැඟීම තදින්ම හිත්වලට කාවැදී තිබෙන බව. මේ නිසා ඔවුන් ඔවුන්ටම දොස් පවරාගන්නා තත්ත්වයකට පත්වෙනවා. මගේ තාත්තගේ ජීවිතය බේරාගන්න බැරිවීම ගැන මමත් මටම දොස් පවර ගත්ත.” මායි සුගනුමා පැවසුවාය.

“වසංගතය නිසා දැන් ඔවුන්ට ගෙදරින් එලියට යන්න එපා කියල නීති දාල. ඒ නිසා මේ වේදනාව තවත් වැඩි වෙනවා. ඒ ගැන මම ඉන්නේ කනස්සල්ලෙන්. ජපන් මිනිස්සු මරණය ගැන වැඩිය කතා කරන්නේ නැහැ. දිවි නසා ගැනීම් ගැන කතා කරන සම්ප්‍රදායක් ඔවුන්ට නැහැ.”

මුලාශ්‍ර BBC

Share This