රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරිගේ දේහය අද පස්වරුවේ නිවසට

රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරිගේ දේහය අද පස්වරුවේ නිවසට

අභාවප්‍රාප්ත ජනප්‍රිය රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි මහතාගේ දේහය අද (04) පස්වරුවේ ඔහු පදිංචිව සිටි බණ්ඩාරගම, ගල්තුඩේ අංක 176/A දරණ නිවසට රැගෙන එන බවයි පවුලේ ඥාතීන් සඳහන් කළා.

රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලුයම මිය යන විට ඒ මහතා 57 වැනි වියේ පසු වුණා.

වේදිකා නාට්‍ය, ටෙලිනාට්‍ය මෙන්ම චිත්‍රපට ගණනාවකින් ද සිය රංගන ප්‍රතිභාව විදහා දැක්වූ සරත් චන්ද්‍රසිරි මෙරට සුහසක් ප්‍රේක්‍ෂකයින්ගේ නොමද ආදරයට පාත්‍ර වූ කලාකරුවෙක්.

තමන්ටම ආවේණික වූ රංගන ශෛලියකින් විවිධ නිර්මාණයන්ට පණ පෙවූ සරත් චන්ද්‍රසිරි කලාකරුවා නිරූපණය කළ චරිත රැසක්ම ප්‍රේක්‍ෂකයින්ගේ ආකර්ෂණයට ලක් වුණා.

අබුද්දස්ස කෝලම, ගුරු තරුව, පුත්‍ර සමාගම, තලමල පිපිලා ආදී වේදිකා නාට්‍ය රැසකට රංගනයෙන් දායක වූ ඔහු පබා, ජෝඩු ගෙදර, සඳගිරිපව්ව ආදී ටෙලි නාට්‍ය රැසක ද කැපී පෙනෙන චරිත නිරූපණය කළා.

රාජ්‍ය සේවය පිණිසයි, කුරුළු පිහාටු, රන් කෙවිට, 5 සමත්, සමනලතටු ආදී චිත්‍රපට රැසකටම තම රංගන දායකත්වය ලබා දුන්නා.

මේ අතර, අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ රංගන ශිල්පී සම්පත් තෙන්නකෝන් මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා මේ වනවිට බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැම්පත් කර තිබෙනවා.

දිවියෙන් සමුගත් තම ආදරණිය රංගනවේදියාට අවසන් ගෞරව දැක්වීම සඳහා ඔහුගේ රසිකයින් ඇතුළු පිරිස් අද පෙරවරුවේත් පැමිණ සිටියා.

ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල කනත්ත පොදු සුසාන භූමියේදී හෙට පස්වරුවේ සිදු කිරීමට නියමිතයි.

Share This