හොර වෛද්‍යවරුන් අල්ලන්න මෙහෙයුමක්

හොර වෛද්‍යවරුන් අල්ලන්න මෙහෙයුමක්

ව්‍යාජ ලෙස සහතික පෙන්වමින් වෛද්‍ය මධ්‍යස්ථාන පවත්වාගෙන යනු ලබන හොර වෛද්‍යවරුන් අල්ලන්න මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ පොලිස්පතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් සමග පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව ව්‍යාජ වෛද්‍ය මධ්‍යස්ථාන පවත්වාගෙන යන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි පොලිසිය සඳහන් කරන්නේ.

එහිදී විශේෂයෙන්ම, රජයේ වෛද්‍ය නිලධාරී සංගමය විසින් වෛද්‍යවරුන් වෙත නිකුත් කර ඇති නිල ලාංජනය සහිත ස්ටිකරය වාහනවල තබාගනිමින් එය අවභාවිතා කර ඇතැම් නීති විරෝධි ක්‍රියාකාරකම්වල නිරත වන පුද්ගලයින් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම, මහ මඟ ව්‍යාජ සහතික ඉදිරිපත් කරමින් වෛද්‍යවරුන් ලෙස පෙනී සිටින පුද්ගලයින් සම්බන්ධයෙන් නෛතික ක්‍රියාමාර්ග ගැනීම, නිසි ප්‍රමිතියකින් තොර ඖෂධ, සුවද විලවුන් ඇතුළු විවිධ රූපලාවන්‍ය ආලේපන වර්ග ආදිය වෙළදාම් කිරීම සම්බන්ධයෙන් නෛතික ක්‍රියාමාර්ග ගැනීම ඇතුළු කරණු කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමුවී තිබෙනවා.

එහිදි විශේෂයෙන්ම ව්‍යාජ සහතික ඉදිරිපත් කර වෛද්‍යවරුන් ලෙස පෙනී සිටිමින් වෛද්‍ය මධ්‍යස්ථාන පවත්වාගෙන යන පුද්ගලයන් සහ වෛද්‍යවරුන් ලෙස පෙනී සිටිමින් ඇතැම් නීති විරෝධි ක්‍රියාකාරකම් වල යෙදී සිටින තැනැත්තන්ට ඉදිරියේදී අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගැනීමට ද සැලසුම් කර ඇති බවයි පොලිස් ආරංචිමාර්ග වැඩිදුරටත් සදහන් කරන්නේ.

Share This