පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය අද (VIDEO)

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය අද (VIDEO)

පළාත් පාලන මැතිවරණය මාර්තු 09 වැනිදා පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය අද නිකුත් කිරීමට නියමිත බව රජයේ මුද්‍රණාලය පවසනවා.

තේරීම්භාර නිලධාරීන් විසින් එවූ එම ගැසට් නිවේදන මේ වන විට දෝෂ නිවැරදි කිරීම සඳහා මැතිවරණ මහ ලේකම් කාර්යාලය වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

මාර්තු 09 වැනිදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ගෙන් ලැබුණු ලේඛන ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විටත් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව තුළ සිදු කෙරෙනවා.

ඊට අදාළ ලේඛන රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට ඊයේ භාරදුන් බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.

රජයේ මුද්‍රණාලාධිපති ගංගානි ලියනගේ මහත්මිය පැවසුවේ මේ වන විට මූලික සෝදුපත් බැලීම් කටයුතු අවසන් කර එහි අඩුපාඩු පවතින්නේද යන්න පරීක්‍ෂා කිරීම සඳහා නැවත මැතිවරණ කොමිසමට යවා ඇති බවයි.

මැතිවරණ කොමිසමෙන් අවසන් ලේඛන ලැබුණු පසු දිස්ත්‍රික්ක 25 ටම අදාළ ගැසට් නිවේදන නිකුත් කිරීමට කටයුතු කරන බවයි ඇය සඳහන් කළේ.

ඒ අනුව අද පස්වරුව වන විට අදාළ ගැසට් නිවේදන නිකුත් කිරීමට හැකිවනු ඇති බවටද ඇය විශ්වාසය පළ කළා.

Share This