සික් නායකයා ඝාතනය සම්බන්ධයෙන් තිදෙනෙකු අත්අඩංගුවට

සික් නායකයා ඝාතනය සම්බන්ධයෙන් තිදෙනෙකු අත්අඩංගුවට

ඉන්දියාව සහ කැනඩාව අතර විශාල රාජ්‍ය තාන්ත්‍රික ගැටුමක් ඇති කළ කැනඩාවේ සික් බෙදුම්වාදී නායකයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඉන්දීය ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

45 හැවිරිදි හර්දීප් සිං නිජ්ජාර් පසුගිය ජුනි මාසයේදී වැන්කුවර් උපනගරයේ තුවක්කුකරුවන් විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබුවා.

කැනඩාවේ අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ ඉන්දීය රජය ඊට සම්බන්ධ වන්නට ඇතැයි චෝදනා කිරීමත් සමග දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික ගැටුම උත්සන්න වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් කැනඩාවේ එම චෝදනා සියල්ල ඉන්දියාව තරයේ ප්‍රතික්ෂේප කළා.

ඊයේ(03) අත්අඩංගුවට ගැනීම් නිවේදනය කරමින් මන්දීප් මුකර් පැවසුවේ සැකකරුවන් තිදෙනා 22 හැවිරිදි කරන් බ්‍රාර්, 22 හැවිරිදි කමල් ප්‍රීත් සිං, සහ 28 හැවිරිදි කරන් ප්‍රීත් සිං බවයි.

ඔවුන් තිදෙනාම අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇල්බර්ටා ප්‍රදේශයේ එඩ්මන්ටන්හි සිටියදී බවයි සඳහන් වන්නේ.

මිනීමැරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී තිබෙනවා.

ඔවුන් සියල්ලෝම වසර තුනක සිට පහ දක්වා කාලයක් කැනඩාවේ සිටි බව පොලිසිය සඳහන් කරන්නේ.

මෙම කරුණු සම්බන්ධයෙන් වෙනම සහ පැහැදිලි විමර්ශන සිදුවෙමින් පවතින අතර අත්අඩංගුවට ගත් පුද්ගලයින්ට පමණක් සීමා නොවී ඉදිරි විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක කරන බවයි කැනඩාවේ ආරක්ෂක සහකාර කොමසාරිස් ඩේවිඩ් ටෙබුල් කියා සිටියේ.

Share This