පාස්කු කොමිසම ගැන හොයන කමිටුව නීත්‍යානුකූල නෑ – විපක්ෂයෙන් චෝදනා

පාස්කු කොමිසම ගැන හොයන කමිටුව නීත්‍යානුකූල නෑ – විපක්ෂයෙන් චෝදනා

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සෙවීමට පත් කළ ජනපති කමිටුවේ ලබාදී ඇති නිර්දේශ සමාලෝචනය කර ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමට සය පුද්ගල කමිටුවක් පත් කිරීමට ජනාධිපතිතුමා පියවර ගත්තා.

අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු එම කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, උදය ගම්මන් පිල, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග සහ රෝහිත අබේගුණවර්ධන යන මහත්වරුන්.
මේ අතර, අදාළ පාර්ලිමේන්තු කමිටුව සම්බන්ධයෙන් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඊයේ සිය විරෝධය පළ කළා.
උන්වහන්සේ සඳහන් කළේ,
“උගත් මිනිස්සු 05 දෙනෙකුගෙන් සැදුම් ලත් කොමිෂන් සභාව දුන්න විනිශ්චය සහ දුන්න රෙකමදාරුව ඒක දුන්නේ ආණ්ඩුවට ඒ කරුණ ඉෂ්ට කරන්න විතරයි. ඒ වගේම නීතිපතිතුමාට ඒ කරුණු ඉෂ්ට කරන්න විතරයි ඒ කොමිෂන් සභාවෙන් යෝජනා කළේ. ඒ මිසක් ඕලේවල් පාස් නැති මිනිසුන්ට මේක තීරණය කරන්න දෙන්න පුළුවනැ”

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මුජිබර් රහුමාන් මහතා සඳහන් කළේ, “මේ වගේ කමිටු පත්කරන්නේ දේශපාලන වුවමනාමත දැන් බැරියල් එකක් දාලා තියෙනවා. මේ වාර්තාවට. මේ බැරියල් එක හරහා ගමන් කරලා පෙරලා තමයි දැන් නීතිපති දෙපාර්තමේන්තුවට යවන්න හදන්නේ. ඒ කියන්නේ තමන්ට ඕන දේවල් තමයි නීතිපති දෙපාර්තමේන්තුවට යවන්න අනු කමිටුවක් කියලා බැරියල් එකක් දාලා තියෙන්නේ. බැරියල් වැඩක් නෑ. වාර්තාව එළියට දාන්න.” වශයෙන්.

එස් එම් මරික්කාර් මහතා කියා සිටියේ “මේ කරන බව දැන ගෙන තීරණ ගන්නේ නැතුව බලන් හිටපු කට්ටිය ඒ වගේම කරපු එවුන් ටිකත් හොයලා දඩුවම් දෙන්න ඕනේ. අද මාල කඩන උන් එතනෝල් කාරයන්ව දාලා තියෙනවා අර උගත් බුද්ධිමත් විනිශ්ය කාරවරුන්ගේ වාර්තාව අධ්‍යනය කරන්න කියලා”

එමෙන්ම ඒ.එච්.එම්. හලීම් මහතාද මේ සම්බන්ධයෙන් අදහස් පල කළා .

“අනු කමිටුවක් පත් කරලා ඒකේ හරි වැරදි බලන්න බලාපොරොත්තු වෙන බව තමයි අපිට පෙන්නේ. මේකේ අවශ්‍යතාවක් නෑ. එහෙම කළොත් කොමිෂන් සභාව හෑල්ලු වෙනවා. මං හිතන්නේ අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ මේවා හෙළි කරගන්න. සහරාන් විතරක් නෙවෙයි එයාගේ පිටිපස්සේ තවත් මොළකාර කණ්ඩායමක් හිටිය බවයි අපට පෙනී යන්නේ.”

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ ,
“දැන් මේ පාස්කු ප්‍රහාරය හරියට අපේ කාලේ වුණා වගෙයි සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කතා කරන්නේ. එදා අගමැති රනිල් වික්‍රමසිංහයි, ජනපති මෛත්‍රිපාල සිරිසේන මහත්තයයි ඒ දෙගොල්ලෝ තමයි මේකට වග කියන්න ඕනේ.” යනුවෙන්.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාද මෙම කමිටුව සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළකළා.

“මම දන්නේ නෑ කොහොමද අධ්‍යාපන සුදුසුකම් කියන එක. නමුත් ඇමතිවරු විදියට ඉන්න අයනේ පත් කරලා තියෙන්නේ. නීතිඥවරු ඒ අතර ඉන්නවා. මේ පිළිබඳව අවශ්‍ය විමර්ශන කරලා ජනාධිපතිතුමා නිර්දේශයක් ලබාදෙයි. ඉන් අනතුරුව නීතිපතිවරයා හරහා අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමුවෙයි. මේ වාර්තාව දුන්නොත් බුද්ධි තොරතුරු සියල්ලම ජනතාවට හෙළිදරව් වෙනවා. එය රටේ ආරක්‍ෂාවට බලපානවා කියන එක තමයි ජනාධිපතිතුමාගේ මතය වෙලා තියෙන්නේ. අපිට කැබිනට් මණ්ඩලයෙත් ඒ වගේ අදහසක් තමයි දුන්නේ.”

මේ අතර, අදාළ පාර්ලිමේන්තු කමිටුව ලබන සඳුදා රැස්වීමට නියමිත බවයි එහි සභාපති අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතා අද සඳහන් කළේ.

Share This