“උමා දිය ජනනි” ශ්‍රී ලංකා – ඉරාන ජනපතිවරුන් අතින් ජනතා අයිතියට

“උමා දිය ජනනි” ශ්‍රී ලංකා – ඉරාන ජනපතිවරුන් අතින් ජනතා අයිතියට

මහවැලි ව්‍යාපාරයෙන් පසුව මෙරට ක්‍රියාත්මක දැවැන්ත වාරි ව්‍යාපෘතියක් ලෙස ලක් ඉතිහාසයට එක් වන “උමා දිය ජනනි” බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන – ශ්‍රී ලංකා ජනාධිපතිවරුන්ගේ සුරතින් අද (24) පෙරවරුවේ ජනතා අයිතියට පත් කෙරුණා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයෙන් මෙම අවස්ථාවට එක් වූ ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබුවා.

දෙරටේ නායකයන් එක්ව සමරු ඵලකය නිරාවරණය කර “උමා දිය ජනනී” බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පවරා දුන් අතර ඩිජිටල් තාක්ෂණය ඔස්සේ විදුලි ජනන යන්ත්‍ර පණ ගන්වා මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම ද ජනාධිපතිවරු දෙදෙනා අතින් සිදු කර තිබෙනවා.

අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ඉරානයේ සහාය නොවන්නට ශ්‍රී ලංකාවට උමා ඔයෙහි ජලය කිරිඳිඔයට ගෙන යාමට හැකියාවක් නොලැබෙනු ඇති බවයි.

ඒ පිළිබඳව ඉරාන ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට සිය ස්තූතිය පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉරානය සමඟ වඩා සමීප සබඳතා ඇති කර ගනිමින් ඉදිරියට යාම ශ්‍රී ලංකාවේ අරමුණ බව සඳහන් කළා.

ගෝලීය දකුණේ රටවල් සිය අනන්‍යතාව සහ ස්වාධීනත්වය තහවුරු කිරීමට ඇති කැමැත්ත මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් ගෝලීය දකුණේ රටවල් එක්ව නැගී සිටිය යුතු බවයි එහිදී අවධාරණය කළේ.

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා ද එම අවස්ථාවට එක්වෙමින් අදහස් පළ කළ අතර මෙම ව්‍යාපෘතිය ඉරානය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වයේ සංකේතයක් පමණක් නොව ආසියානු කලාපයේ ජාතින් අතර උපරිම සහයෝගිතාව, ඒකාබද්ධතාවය, සහජීවනය සහ එකමුතුකමේ සහතිකයක් ද වන බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රී ලංකාව සමඟ මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව මෙහිදී සහතික කළ ඉරාන ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විශාල සංවර්ධන ව්‍යාපෘති සඳහා තාක්ෂණික හා ඉංජිනේරු සේවා සැපයීම තුළින් ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සහ සංවර්ධනය සඳහා දායක වීමට ඉරානය සූදානමින් සිටින බවයි සඳහන් කර ඇත්තේ.

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා සහ ආචාර්ය ජමිලේ සදාත් අලමොල්හෝදා මැතිණිය ප්‍රමුඛ දූත පිරිස අද (24) පෙරවරුවේ මත්තල ගුවන් තොටුපළින් මෙරටට ළඟා වුණා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු මැති ඇමතිවරුන් විසින් එහිදී ඉරාන ජනාධිපතිවරයා ප්‍රමුඛ දූත පිරිස මහත් හරසරින් පිළිගනු ලැබුවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ ආරාධනය පරිදි ඉරාන ජනාධිපතිවරයා ශ්‍රි ලංකාවේ එක්දින නිල සංචාරයකට එක්ව සිටින අතර 2008 වසරේ අප්‍රේල් මාසයේ දී එවකට ඉරාන ජනාධිපති මොහොමඩ් අහමදිනෙජාඩ් මහතාගේ සංචාරයෙන් පසුව ඉරාන ජනාධිපතිවරයෙකු මෙරට සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

සිය සංචාරය සනිටුහන් කරමින් ඉරාන ජනාධිතිවරයා මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ පරිශ්‍රයේ තැන්පත් කර තිබූ විශේෂ ආරාධිතයන්ගේ පොතේ සමරු සටහනක් ද තැබුවා.

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය (UOMDP) ශ්‍රී ලංකාවේ ජාතික වශයෙන් වැදගත් ප්‍රමුඛ ව්‍යාපෘතියක් වන තර එහි ප්‍රධාන අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ ගිනිකොනදිග වියළි කලාපයේ පවතින ජල හිඟය සමනය කිරීම සඳහා උමා ඔය ද්‍රෝණියේ පරිසරයට හා ජල ප්‍රභවයන්ට හානියක් නොවන පරිදි එහි පවතින වාර්ෂික සාමාන්‍ය ඝන මීටර් මිලියන 145 (MCM)ක අතිරික්ත ජලය කිරිඳි ඔය ද්‍රෝණියට හැරවීමයි.

මෙමඟින් මොණරාගල දිස්ත්‍රික්කයේ නව ඉඩම් හෙක්ටයාර 4500 කට පමණ සහ දැනට පවතින කෘෂිකාර්මික ඉඩම් හෙක්ටයාර් 1500 කට පමණ වාරි ජලය මෙන්ම බදුල්ල, මොණරාගල සහ හම්බන්තොට යන ප්‍රදේශවල පානීය හා කාර්මික ජල අවශ්‍යතා සඳහා අවශ්‍ය ජලය ඝන මීටර් මිලියන 39 (MCM) ප්‍රමාණයක් ලබා දෙන අතරම වාර්ෂිකව ජාතික විදුලිබල පද්ධතියට ගිගා වොට් පැය 290 (290 GWh)ක විදුලි ධාරිතාවක් එක් කරනු ලබනවා.

මෙම ව්‍යාපෘතිය සඳහා පුහුල්පොල සහ ඩයරබා ජලාශ දෙක ඉදිකිරීම, ජලාශ දෙක සම්බන්ධ කරන කිලෝමීටර් 3.98 දිගකින් යුත් ජල ප්‍රවාහ උමග (සම්බන්ධක උමග), කිලෝමීටර් 15.2 ක දිගකින් යුත් ප්‍රධාන උමග, භූගත විදුලි බලාගාරය, සම්ප්‍රේෂණ මාර්ගය සහ ඒ ආශ්‍රිත අනෙකුත් ඉදිකිරීම්වලින් සමන්විත බව සඳහන්.

ඉරානයේ ෆරාබ් (FARAB) සමාගම විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබෙන අතර සම්පූර්ණ කොන්ත්‍රාත් මුදල ඇමරිකානු ඩොලර් මිලියන 514 ක් වන අතර කොන්ත්‍රාත්තුව 2010 මාර්තු 15 දින සිට බලාත්මක වූ අතර ඉරානයේ අපනයන සංවර්ධන බැංකුව (EDBI) පළමුව 2013 වන තෙක් ඩොලර් මිලියන 50 ක් අරමුදල් සම්පාදනය කර තිබුණා.

කෙසේවෙතත්, ඉරානයට එරෙහිව එම කාලයේ පැනවුණු ජාත්‍යන්තර සම්බාධක හේතුවෙන්, ඔවුන්ට දිගටම ව්‍යාපෘතිය සඳහා මූල්‍ය පහසුකම් සැපයීමට නොහැකි වී ඇති අතර අදාළ කොන්ත්‍රාත්කරු වූ ෆරාබ් සමාගම සමඟ රජයේ අරමුදල් යොදා ගනිමින් ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමට ශ්‍රී ලංකා රජය තීරණය කරනු ලැබුවා.

Share This