සුපිරි හෝටලක් වෙන්න යන බෝගම්බර හිර ගෙදර

සුපිරි හෝටලක් වෙන්න යන බෝගම්බර හිර ගෙදර

මහනුවර බෝගම්බර බන්ධනාගාරය හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සදහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් ඇති බවත් එහි පෞරාණික බව රැකගනිමින් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා

ඒ අනුව විසල් මහනුවර සංවර්ධන සැලැස්ම හා මහනුවර නගර සංවර්ධන සැලැස්ම යටතේ එය ප්‍රතිසංවර්ධන කටයුතු ක්‍රියාත්මක කෙරෙන බවද ඔහු පැවසුවා

යටත් විජිත ගෘහ නිර්මාණ ශිල්පය රැකගනිමින් බන්ධනාගාරයේ ප්‍රධාන ගොඩනැගිල්ල සංරක්ෂණය හා සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති අතර විවෘත හා විනෝදාත්මක පහසුකම් සහිත පරිශ්‍රය සාමාන්‍ය ජනතාව සදහා විවෘත කිරීමත් සමගින් එහි ආර්ථික වටිනාකම ඉහළ නැංවීම මෙම ව්‍යාපෘතියේ අරමුණු බවයි නාගරික සංවර්ධන අධිකාරියේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ ඊ.එම්.එස්.බී ඒකනායක මහතා සඳහන් කළේ

මේ වන විටත් බන්ධනාගාර පවුර සහ ප්‍රධාන ගොඩනැගිල්ල හැරුණු විට අනෙකුත් භූමිය සංවර්ධනය සදහා අවශ්‍ය කටයුතු සම්පාදනය කෙරෙමින් පවතින බව සඳහන්

එමෙන්ම බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සුපිරි වෙළඳ සංකීර්ණයක්, ෆුඩ් කෝට්, කෞතුකාගාරයක් සහ සංචාරක හෝටලය ඇතුළත් වාණිජ ගොඩනැගිල්ලක් ලෙස සංවර්ධනය කිරීමට යෝජිතයි.

බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය වාස්තු විද්‍යාත්මක හා ඓතිහාසික වටිනාකම් ආරක්ෂා කරමින් එය සංවර්ධනය කෙරෙන අතර මේ සදහා නාගරික සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය එක්ව පෞද්ගලික ආයෝජකයෙකු තෝරාගෙන ඇති අතර ඊට අදාළ ඇස්තමේන්තු සකස් කිරීමේ ක්‍රියාවලිය ද මේ වන විට සිදුවෙමින් පවතින බවද සඳහන් වනවා

බෝගම්බර බන්ධනාගාරය වසර 138 ක් ක්‍රියාත්මක වී ඇති අතර 2014 වසරේ ජනවාරි මස 01 වන දින සිට එය වසා දැමුණු අතර එහි කටයුතු පල්ලේකැලේ නව බන්ධනාගාර පරිශ්‍රයට රැගෙන ගොස් තිබෙනවා

එමෙන්ම බෝගම්බර බන්ධනාගාරය දැනට මහජන ප්‍රදර්ශනය සදහා පමණක් විවෘත වනවා.

Share This