අනතුර දැක අනතුරේ වැටීම

අනතුර දැක අනතුරේ වැටීම

ශ්‍රී පාද වන්දනාවේ ගොස් එමින් සිටි පුද්ගලයින් පස් දෙනෙකු රැගත් මෝටර් රථයක් කෑගල්ල, හැලමඩ ප්‍රදේශයේදී කැලණි ගඟට පෙරළීමෙන් ඊයේ (12)පස්වරුවේ අනතුරක් සිදුව තිබෙනවා.

යටියන්තොට අලිවත්ත ප්‍රදේශයේ සිදුවූ මෙම අනතුරින් මෝටර් රථයේ ගමන් කළ පස් දෙනාගෙන් සිව් දෙනෙකු තුවාල ලබා කරවනැල්ල මූළික රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

මෙසේ අනතුරට ලක්වුණේ කෑගල්ල හැලමඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්.

අවට සිටි පිරිස් මේ පුද්ගලයින් බේරා ගැනීමට කටයුතු කර තිබුණා.

කෙසේවෙතත් මෙම අනතුර නැරඹීමට ගොස් තවත් වාහන පහක් එකිනෙක ගැටීමෙන් මෙම ස්ථානයේම තවත් අනතුරක් සිදුවුණා.

මෝටර් රථ අනතුර සිදුවූ ස්ථානයේ ගමන් කරමින් තිබූ සත්ව ආහාර ප්‍රවාහන කරන ලොරි රථයක් ,සේවක ප්‍රවාහන බස් රථයක් , වෑන් රථයක් හා නතර කර තිබූ ත්‍රිරෝද රථ දෙකකදී ගැටී මෙම අනතුර සිදුවූ බවයි සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ.

මෙම අනතුරින් පුද්ගලයින් හය දෙනෙකු තුවාල ලබා කරවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එම වාහනවලටද අලාභහානි සිදුව තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් යටියන්තොට පොලිසිය පරීක්‍ෂණ පවත්වනවා.

Share This