ONLINE GAME වලින් දරුවන් බේරාගන්නැයි ඉල්ලීමක්

ONLINE GAME වලින් දරුවන් බේරාගන්නැයි ඉල්ලීමක්

“මාර්ගගත පරිගණක ක්‍රීඩා ව්‍යසනයෙන් දරුවන් බේරාගැනීම සඳහා වහා මැදිහත් වන ලෙස ඉල්ලමින්” නාරාහේන්පිට පිහිටි
විදුලි සංදේශ නියාමන කොමිසමට අද (14) ජාතික නිදහස් පෙරමුණට අනුබද්ධ “ලක්මව දියණියෝ” ජාතික සංවිධානයේ ජාතික සංවිධායිකා ප්‍රියංගා කොතලාවල මහත්මිය ලිපියක් භාර දී තිබෙනවා.

කෙසේ වෙතත් මේ වන විට මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් පවා මාර්ගගත අධ්‍යාපන ක‍්‍රියාවලියේ ඍජු සහ අතුරු අහිතකර ප‍්‍රතිඵල පිළිබඳව විද්වත් මතවාද රටට ඉදිරිපත් කර ඇති බව ඔවුන් සඳහන් කරනවා.

මාර්ගගත අධ්‍යාපන ක‍්‍රියාවලිය තුළ පාලනයකින් තොරව දීර්ඝ වේලාවක් දරුවන් රැදී සිටීම මගින් ඔවුන්ට ඇතිවන මානසික සංකූලතාවලට අමතරව අන්තර්ජාලය හරහා ඉදිරිපත් කෙරෙන ‘‘වීඩියෝ ගේම්ස්’’ ලෙස හැදින්වෙන විවිධ විනාශකාරී පරිගණක වැඩසටහන් නිසා බරපතළ අගතියක් දරුවන්ට සිදුවන බව දැන් ඉතා පැහැදිළි බවයි නිවේදනයක් නිකුත් කරමින්
“ලක්මව දියණියෝ” පවසන්නේ.

මෑතකාලීනව එවැනි පරිගණක ක‍්‍රිඩා මගින් මානසික පීඩාවට පත්වූ දරුවන් සියදිවි නසා ගැනීමට පවා පෙළඹී ඇති බව වාර්තා විය.

ඔවුන් ඉල්ලා සිටින්නේ අන්තර්ජාලයෙන් ඉදිරිපත් කෙරෙන දරුවන්ට අහිතකර ‘‘වීඩියෝ ගේම්ස්’’ ඔවුන්ට ලබාගත නොහැකි වන ලෙස තාක්ෂණික බාධා පමුණුවන ලෙසයි .

එසේම මෙම විනාශකාරී තත්වයෙන් දරුවන් බේරා ගැනීම සඳහා දෙමාපියන් සහ දරුවන් ඉලක්ක කරගත් අධ්‍යාපන සහ ප‍්‍රචාරක වැඩසටහනක් දියත් කරන ලෙසද ඔවුන් ඉල්ලා සිටිනවා.

Share This