හැරී තම දියණියට ‘රැජිණටත් නොකියා’ නම් තැබූ හැටි

හැරී තම දියණියට ‘රැජිණටත් නොකියා’ නම් තැබූ හැටි

සසෙක්ස් ආදිපාදවරයා සහ ආර්යාව ඔවුන්ගේ අලුත උපන් දියණිය ‘ලිලිබෙට්’ (Lilibet) යනුවෙන් නම් කිරීම සඳහා එලිසබත් රැජිනගෙන් අවසර ගෙන නැති බව බ්‍රිතාන්‍ය රජමාලිගයේ ආරංචි මාර්ගයකින් දැනගැනීමට ලැබී ඇති බව බීබීසි වාර්තා කර තිබෙනවා.

සසෙක්ස් ආදිපාද යුවලට එක්වූ නව බිළිඳිය උපත ලැබීමට පෙර ඔවුන් රැජිනට කතාකර ඇතැයි එම නම් තබනු ලැබීම නිවේදනය කෙරෙද්දී පළවූ වාර්තා ඉහත කී ආරංචි මාර්ගය විසින් අභියෝගයට ලක්කරනු ලැබ තිබෙනවා.

‘ලිලිබෙට්’ යනු එලිසබත් රැජිනගේ පෞද්ගලික ජීවිතය සමඟ දැඩි සම්බන්ධයක් සහිත නමකි.

එහෙත් සසෙක්ස් ආදිපාද පවුලේ ප්‍රකාශකයෙක් එම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ”රැජිනගේ අවසරය ලැබුණේ නැත්නම් ආදිපාද යුවල එකී ‘ලිලිබෙට්’ නාමය තම දියණිය සඳහා තෝරා නොගනු ඇතැයි” සඳහන් කරන බව බීබීසි වාර්තාවේ සඳහන් වනවා.

”සිය දියණියගේ නම නිවේදනය කිරීමට පෙර ආදිපාදවරයා ඔහුගේ පවුලේ සාමාජිකයන්ට කතා කළා.ඇත්තෙන්ම ඔහු එසේ කතා කළ පවුලේ පළමු සාමාජිකයා මහ රැජිනයි.එම සාකච්ඡාවේ දී රැජින ඇමතූ හැරී කුමරු තම දියණියට ‘ලිලිබෙට්’ කියන නම රැජිනට කරන ගෞරවයක් වශයෙන් තබන බව සඳහන් කළා. ඊට රැජිනගේ සහයෝගය පළ නොවුනා නම් ඔහු සිය දියණියට එම නම තෝරා නොගන්න ඉඩකඩ තිබුණා” යනුවෙන් සසෙක්ස් ආදිපාද පවුලේ ප්‍රකාශකයා සඳහන් කර තිබුණා.

සසෙක්ස් ආදිපාද යුවල පසුගිය සති අන්තයේ සිය දියණිය සඳහා තෝරාගන්නා ලද සම්පූර්ණ නම ‘ලිලිබෙට් ඩයනා මවුන්ට්බැට්න්-වින්ඩ්සර්'(Lilibet “Lili” Diana Mountbatten-Windsor)යන්නයි.

හැරී කුමරු ‘ලිලිබෙට්’ යන කොටස තම මිත්තණිය වන රැජින සඳහාත් ‘ඩයනා’ යන කොටස සිය මව සඳහාත් කෙරෙන උපහාර වශයෙන් තෝරාගන්නා ලද බව ප්‍රකාශයට පත්කරනු ලැබ තිබෙනවා.

Share This