බරපතල ආර්ථික අර්බුදය හමුවේ IMF සහ ගල් අඟුරු තීරණාත්මක වූ හැටි

බරපතල ආර්ථික අර්බුදය හමුවේ IMF සහ ගල් අඟුරු තීරණාත්මක වූ හැටි

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ(IMF) ණය වැඩසටහන මේ වන විට ශ්‍රී ලංකාවේ බරපතල ආර්ථික අර්බුදය විසඳා ගැනීමේ තීරණාත්මක සාධකය බවට පත්ව තිබෙනවා.

මෙරට සංචාරය කරන ලද IMF නියෝජිතයන් සහ ශ්‍රී ලංකා රජය ණය වැඩසටහන සම්බන්ධයෙන් මුලික කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකටද පැමිණ තිබුණා.

එහෙත් වැඩසටහන ක්‍රියාත්මක කරගත හැකි යැයි සඳහන් කළ හැකි දිනයක් හෝ කාලයක් පිළිබඳව මෙතෙක් කීමට හැකියාවක් ලැබී නැත්තේ ණය වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා IMF හි ප්‍රධානම කොන්දේසියක් වන, ‘ශ්‍රී ලංකාවේ ණයහිමියන් සියලුදෙනාම සිය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරදීමට කැමැත්ත පළකළ යුතුය’ යන කරුණ සපුරාලීමට සිදුව ඇති නිසයි.

ඉන්දියාව සහ ජපානය ඇතුළු අනෙකුත්සියලුම ණයහිමියන් කොන්දේසි විරහිතව සිය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරදීමට කැමැත්ත පළකර ඇති අතර චීනය කොන්දේසි ද ඉදිරිපත් කර ඇති බවයි ඇතැම් අවස්ථාවල දී වාර්තා වුණේ.

මේ අතර නියමිත වේලාවට ගල් අඟුරු ආනයනය කිරීම වළක්වාලීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා කැබිනට් ප්‍රකාශක ඇමති බන්දුල ගුණවර්ධන පසුගිය සිකුරාදා (23) අනාවරණය කළ අතර නියමිත වේලාවට ගල් අඟුරු ලබාදීම ප්‍රතික්ෂේප කර විදුලිය විසන්ධි කිරීමේ කාලය දීර්ඝ කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක වන බව හෙතෙම අවධාරණය කර සිටියා.

පසුගිය අගෝස්තු මාසයේ ප්‍රදානය කරන ලද ගල් අඟුරු ටෙන්ඩරය පසුගිය වසරේ(2021) ඉදිරිපත් කළ මිලට වඩා අඩු ලංසුවක් බවද ඔහු කියා සිටියා.

තාක්ෂණික හා නීතිමය ගැටළු හේතුවෙන් ශ්‍රී ලංකාව නියමිත වේලාවට ගල් අඟුරු ආනයනය කිරීමට අපොහොසත් වුවහොත් එය අර්බුදයකට තුඩු දෙන බවත්, එබැවින් හදිසි තීරණයක් ගැනීමට කැබිනට් අනුකමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බවත් සඳහන් කළ ඇමතිවරයා, විදුලිය විසන්ධි කිරීමට හේතුවන නොරොච්චෝලේ බලාගාරය වසාදැමීම වැළැක්වීම සඳහා අවශ්‍ය සියලු තීරණ විෂය භාර අමාත්‍යවරයා සහ කැබිනට් අනුකමිටුව විසින් ගනු ලබන බවද වැඩිදුරටත් පැවසුවා.

එදිනම, පස්වරුවේ විදුලිබල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර අවසානයේ අනාවරණය කරන ලද්දේ ගැටළු සහගත ගල්අඟුරු ටෙන්ඩරය අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවයි.

එසේම, දිගුකාලීන ණය පදනමක් මත ගල් අඟුරු සැපයීමට හැකියාව ඇති ඕනෑම සුදුසු සැපයුම්කරුවෙකුට ඉඩ සලසන නව අන්තර්ජාතික විවෘත සහ තරඟකාරී ටෙන්ඩරයක් ලංකා ගල් අඟුරු සමාගම විසින් ප්‍රකාශයට පත් කරනු ඇති බවද ඇමතිවරයා සඳහන් කළා.

නොරොච්චෝලේ විදුලි බලාගාරය බල ගැන්වීම සඳහා ගල් අඟුරු ලබා ගැනීම සම්බන්ධ ගැටළු හේතුවෙන් ශ්‍රී ලංකාව යළිත් වරක් විදුලි අර්බුදයකට මුහුණදෙමින් සිටිනවා.

2022 ඔක්තෝම්බර් 25 වනදා වන විට ගල් අඟුරු නොලැබුණහොත් දෛනික විදුලි කප්පාදුව දිනකට පැය දහයක් දක්වා දීර්ඝ කිරීමට ඉඩ ඇති බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය අනතුරු අඟවා තිබෙනවා.

එක් ජනන යන්ත්‍රයක් ක්‍රියා විරහිතව තිබියදී ශ්‍රී ලංකාවේ විදුලි සැපයුමෙන් සියයට 30ක විශාල ප්‍රමාණයක් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය මත රඳාපවතී. ජනන යන්ත්‍ර තුනම ක්‍රියාත්මක වන විට විදුලි ඉල්ලුමෙන් සියයට 40කට වඩා වැඩි ප්‍රමාණයක් මෙම බලාගාරයෙන් සපුරාලනු ලබනවා.දැනට අක්‍රියව පවතින ජනන යන්තර ලබන මස අවසානයට පෙර යථා තත්වයට පත්කිරීමට හැකි බව විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේවෙතත් දැනට බලාගාරයේ ඇති ගල් අඟුරු තොගය ප්‍රමාණවත් වන්නේ 2022 ඔක්තෝබර් 25 දක්වා පමණි. ඔක්තෝබර් 25 වැනිදායින් පසු නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ විදුලි උත්පාදනය සඳහා ප්‍රමාණවත් ගල් අඟුරු තොග ලබා දිය යුතුය.

ගල් අඟුරු සැපයුමට සිදුවුයේ කුමක්ද? ශ්‍රී ලංකාවට ගල්අඟුරු සැපයීම සඳහා සඳහා දිගුකාලීන සැපයුම්කරුවෙකු සමඟ ගිවිසුම්ගත වීමට ලංසු කැඳවා තිබුණා.

විධිමත් ටෙන්ඩර් ක්‍රියාවලියේදී සමාගම් කිහිපයක් ලංසු ඉදිරිපත් කළ අතර තවත් සමාගමක් ටෙන්ඩර් ක්‍රියාවලියට පිටින් ලංසු ඉදිරිපත් කළ බවයි වාර්තා වුණේ. අවසානයේදී, නියමිත ටෙන්ඩර් ක්‍රියාවලිය හරහා ලංසු ඉදිරිපත් කළ සමාගමකට දිගුකාලීන සැපයුම පිරිනැමීමට තීරණය වූ අතර එහෙත් ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව ලංසු ඉදිරිපත් කළ සමාගම නැවතත් අඩු මිලට ලංසුවක් ඉදිරිපත් කර තිබුණා.

එම ලංසුකරු ටෙන්ඩරය ලබාදුන් සමාගමටද බලපෑම් කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී අනාවරණය කර තිබුණා.
ටෙන්ඩරය ලබා දුන් සමාගමට ගල් අඟුරු සැපයීම සඳහා කොන්දේසි කිහිපයක් පනවා ඇති අතර ගනුදෙනුවට අදාළ කාර්ය සාධන බැඳුම්කරය තැන්පත් කිරීමට සමාගමට ලබාදී තිබූ කාලය සැප්තැම්බර් 23වැනිදා අවසන් වුණා.

දැනට රටට ගල් අඟුරු සපයන, පසුගිය වසරේ ටෙන්ඩරය ලබාදුන් සමාගමට තවත් ගල්අඟුරු නෞකා 21ක තොග සැපයීමේ හැකියාව පවතී. එහෙත් ශ්‍රී ලංකාව විසින් ගෙවීම් ප්‍රමාද කිරීම නිසා එම තොග සැපයීම දැන් අර්බුදයකට ලක්ව තිබෙනවා.

ගෙවීම් ප්‍රමාදයට බලප ඇති ප්‍රධානම ගැටලුව වන්නේ මහ බැංකුව හෝ වාණිජ බැංකු සතුව ඩොලර් නොමැතිවීමයි. කෙසේවෙතත් නොරොච්චෝලේ බලාගාරයට ගල් අඟුරු තොගයක් ඔක්තෝබර් 25 වැනිදාට පෙර ලැබීමට නම් ලබන හෙට (26) වන විට යම් මුදලක් ගෙවිය යුතුය. එනම් ගල් අඟුරු නැව් 5ක් සඳහා අවම වශයෙන් ඩොලර් මිලියන 95ක් ගෙවිය යුතුයි.

දැන්, අවසානයේ විෂභාර ඇමතිවරයා ගල්අඟුරු සැපයුම්කරුවකු සොයාගැනීම සඳහා අලුතින් ලන්සු කල්දවන බව ප්‍රකාශ කර ඇති අතර එහිදී මීට පෙර අගෝස්තුවේදී ලංසු ඉදිරිපත් කළ සමාගම් කිහිපයක්ද ලංසු ඉදිරිපත් කිරීමට සුදානම් බවත්, විශේෂයෙන්, නොරොච්චෝලේ බලාගාරය පවත්වාගෙන යන චීන සමගමවන CMEC (China Machinery Engineering Corporation විසින්ද දේශීය නියෝජිතයකු හරහා ලංසුවක් ඉදිරිපත් කරනු ඇතැයිද නිල නොලත් ආරංචි මාර්ග සඳහන් කළා.

Share This