පයින් යන අයට රජයෙන් රුපියල් මිලියන 2.04ක්

පයින් යන අයට රජයෙන් රුපියල් මිලියන 2.04ක්

කතරගම ඇසළ උත්සවය සඳහා උතුරු නැගෙනහිර සිට පාද යාත්‍රාවෙන් පැමිණෙන බැතිමතුන්ට ආරක්ෂාව හා ජල සම්පාදනය ඇතුළු යටිතල පහසුකම් සැපයීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි රුපියල් මිලියන 2.04ක මුදලක් වෙන් කර තිබෙනවා.

මෙලෙස පහසුකම් සපයන ලෙසට ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ, පාද යාත්‍රාවෙන් පැමිණෙන බැතිමතුන් මුහුණදෙන දුෂ්කරතා පිළිබඳව මොණරාගල දිස්ත්‍රික් ලේකම් ගුණදාස සමරසිංහ මහතා ජනාධිපතිවරයා දැනුවත් කිරීමෙන් පසුවයි.

ඒ අනුව අදාළ පහසුකම් සැපයීම ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ සිදු කරනු ඇති.

වාර්ෂිකව ඇසළ උත්සවය නිමිත්තෙන් බැතිමතුන් තිස්දාහකට අධික පිරිසක් ඔකඳ සිට පා ගමනින් කිලෝමීටර් 90කට වැඩි දුරක් ගෙවා කතරගම පූජා භූමිය වෙත පැමිණීම අතීතයේ සිට පැවත එන චාරිත්‍රයක්.

එම ගමනේදී ඔවුන් විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දෙන අතර ඇතැම්විට වන සතුන්ගෙන් වන ආපදාවලට ද මුහුණ දෙන බවයි පැවසෙන්නේ..

මේ පිළිබඳ අවධානය යොමු කරමින් එම බැතිමතුන්ගේ ආරක්ෂාව සහ පහසුකම් සැපයීම සඳහායි ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත්තේ.

 

Share This