තුර්කියේ වරද නිවැරදි කරයි -ශ්‍රී ලන්කන් ගුවන් යානයේ නියමුවා යානය ආරක්‍ෂිතව ගෙනයයි

තුර්කියේ වරද නිවැරදි කරයි -ශ්‍රී ලන්කන් ගුවන් යානයේ නියමුවා යානය ආරක්‍ෂිතව ගෙනයයි

තුර්කියේ අන්කාරා ගුවන්තොටුපළ පාලක මැදිරියට සිදුවූ අතපසුවීමක් නිවැරදි කරගෙන සිය ගුවන් යානය පියාසර කිරීමට ශ්‍රී ලන්කන් ගුවන් නියමුවකු සමත්වී ඇති බව දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබෙනවා

ස්වර්ණවාහිනි පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා

පසුගිය 13 වැනිදා ලන්ඩනයේ සිට කොළඹ බලා පියාසර කළ යූ. එල්. 504 ගුවන් යානයට අඩි 35,000ක් ඉහළ අහසේ ගමන් කරන ලෙසට අන්කාරා ගුවන්තොටුපළ පාලක මැදිරිය දැනුම් දී ඇත්තේ එම මාර්ගයේ තවත් ගුවන් යානයක් ගමන් කරන බව නොදැනයි .

මෙය අවබෝධ කරගත් ශ්‍රී ලන්කන් ගුවන් යානයේ නියමුවා අඩි 33,000 ක් ඉහළ අහසේ ගමන් කරමින් තම යානය ආරක්‍ෂිතව මෙහෙයවා ඇති බව සඳහන්.

පසුව අන්කාරා පාලක මැදිරිය පවසා ඇත්තේ අඩි 35,000 ක් ඉහළ අහසේ තවත් ගුවන් යානයක් පියාසර කරන බැවින් එම මාර්ගයේ ගමන් නොකරන ලෙසයි

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ගුවන් නියමු නවින් ද සිල්වා විසින් මෙම ගුවන් යානය මෙහෙයවා ඇති අතර ඔහුගේ දක්‍ෂතාව මත ගුවන් යානය කිසිදු අනතුරකින් තොරව සිය ගමනාන්තය දක්වා පියාසර කිරීමට පියවර ගෙන තිබෙන බවයි පැවසෙන්නේ

මේ සම්බන්ධව ශ්‍රී ලන්කන් ගුවන් සමාගමද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ 2022 ජුනි 13 වැනිදා ලන්ඩනයේ සිට කොළඹ බලා පියාසර කළ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ. එල්. 504 දරන ගුවන් යානයේ නියමුවන් කිසිදු උපද්‍රවයකින් තොරව එම ගුවන් යානය හැසිරවීමට සමත්වූ බව තහවුරු කරන බවයි.

කෙසේ නමුත් ඇතැම් මාධ්‍ය වාර්තාවල දැක්වෙන ආකාරයට ගුවනේදී යූ. එල්. 504 ගුවන් යානය තවත් ගුවන් යානයක ගැටීමේ අවදානමක් කිසි ලෙසකින්වත් මතු නොවූ බවද අවධාරණය කර ඇති අතර ගුවන් නියමුවන්ගේ විචක්‍ෂණශීලී භාවයත්, ගුවන් යානය සතු අති නවීන සන්නිවේදන පද්ධතියත් මගින් එම යානය ආරක්‍ෂිතව පියාසර කිරීමේ අවස්ථාව සැළසුනු බවද එම නිවේදනයේ සඳහන් වන බවයි එම පුවත්පතේ වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ

තවද යානය තුළ සිටි මගීන් කාර්ය මණ්ඩලය මෙන්ම වටිනා උපකරණ ද ආරක්‍ෂා කර ගනිමින් අදාළ අනතුර වළක්වා ගැනීමට සමත් වූ යූ. එල්. 504 ගුවන් නියමුවන්ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නොමඳ ප්‍රශංසාව හිමිවන බවද සඳහන් කර තිබෙනවා .

Share This