ජීවිතයේ පළවෙනි වතාවට ලැබෙන රාජකීය අවස්ථාවක් (VIDEO)

ජීවිතයේ පළවෙනි වතාවට ලැබෙන රාජකීය අවස්ථාවක් (VIDEO)

III වන චාල්ස් රජු විසින් එංගලන්ත රාජකීය පවුල බොහෝ සෙයින් ආදරය කරන පෞද්ගලික ස්කොට්ලන්ත නිවස වන බැල්මොරල් මාලිගය (Balmoral Castle) මෙම ගිම්හානයේදී විවෘත කිරීමට නියමිත බව වාර්තා වනවා.

මෙම මාලිගාවෙහි චාරිකා ජූලි 4 සිට අගෝස්තු 11 දක්වා දිනපතා ක්‍රියාත්මක වන නමුත් රාජකීය පවුලේ රසිකයින් විසින් පැය 24ක් ඇතුළත ටිකට් සියල්ල මිලට ගෙන තිබෙනවා.

එහි එක් ප්‍රවේශපතක මුදල ඩොලර් 126ක්.

ස්කොට්ලන්තයේ Cairngorms ජාතික වනෝද්‍යානයේ ඩී ගං ඉවුරේ පිහිටා ඇති Balmoral වතුයාය ඇල්බට් කුමරු විසින් ඔහුගේ බිරිඳ වූ වික්ටෝරියා රැජින වෙනුවෙන් මිලට ගත් බවයි ඉතිහාසයේ දැක්වෙන්නේ.

1852 සිට Balmoral මාලිගය බ්‍රිතාන්‍ය රජ පවුලට අයත් ස්කොට්ලන්ත වාසස්ථානය වුණා.

මුල් දේපල රාජකීය පවුලට ඉතා කුඩා යැයි සලකනු ලැබූ නිසා යාර 100 ක් දුරින් තවත් බලකොටුවක් ඉදි කිරීමට සිදු වූ බව සඳහන්.

1856 දී මාලිගාව නිම කිරීමෙන් පසු පළමු වතාවට මෙම ගිම්හානයේදී මින් පෙර කිසිදා මහජනතාවට විවෘත නොවූ කොටස් වෙත පෙර නොවූ විරූ ප්‍රවේශයක් ලබාදීමට නියමිතව තිබෙනවා.

රාජකීය පවුලේ සාමාජිකයින් ප්‍රසිද්ධියේ පෙනී සිටීම සඳහා එක්රැස් වන සුප්‍රසිද්ධ මධ්‍යම බැල්කනිය ඇතුළත් බකිංහැම් මාලිගයේ නැගෙනහිර කොටස ද මෙම ගිම්හානයේදී පළමු වරට මහජනතාව සඳහා විවෘත කිරීමට නියමිතව ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This