එංගලන්තයේ ඇරයුම මහේල ප්‍රතික්ෂේප කරයි

එංගලන්තයේ ඇරයුම මහේල ප්‍රතික්ෂේප කරයි

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමට කළ යෝජනාවක් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වනවා.

ක්‍රිස් සිල්වර්වුඩ් එංගලන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඉවත්වීමත් සමඟ එරට ක්‍රිකට් පාලක මණ්ඩලය මේ වනවිට ප්‍රධාන පුහුණුකරුවෙක් සොයමින් සිටින අතර වාරයේදීයි මහේලට මෙම ඇරයුම ලැබී ඇත්තේ.

මහේලට අමතරව එම තනතුර භාර ගැනීමට හිටපු ඔස්ට්‍රේලියානු නායකයෙකු වන රිකී පොන්ටින් ද ඇරයුම් ලැබී ඇති අතර ඔහුද එම ඇරයුම ප්‍රතික්ෂේප කර ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

කොදෙව් හිටපු ක්‍රීඩකයෙකු වන ඔටිස් ගිබ්සන් එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත් කිරීම සඳහා ද මේ වනවිට අවධානය යොමුව ඇති බවට ද වාර්තා වනවා.

කෙසේ වෙතත් එංගලන්ත ටෙස්ට් හා සීමිත පන්දුවාර කණ්ඩායම් වෙනුවෙන් නව පුහුණුකරුවන් දෙදෙනෙකු පත්කිරීම සඳහා එරට ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය මේ වනවිට යොමුව තිබෙනවා.

එංගලන්ත ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඉවත් වූ ක්‍රිස් සිල්වර්වුඩ් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර භාර ගැනීමට කැමැත්ත පළකර ඇති බව පසුගියදා වාර්තා වුණා.

කෙසේ වෙතත් මහේල ජයවර්ධන එංගලන්තයේ පැවැත්වෙන The Hundred තරගවලියේ, සදර්න් බ්‍රේව් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ලබනවා.

Share This