ආඩම්බරකාර ටෙලිවිෂන් සම්ප්‍රාප්තිය අදයි

ආඩම්බරකාර ටෙලිවිෂන් සම්ප්‍රාප්තිය අදයි

මෙරට රූපවාහිනී කලාවට නවමු අත්දැකීමක් ලබාදෙමින් ආරම්භ වන නවතම රූපවාහිනී නාලිකාව “මොනරා TV” අද (03) සිට ඔබේ ආලින්දයට ගොඩවැදීමට සූදානම්.

ඒ අනුව “සතුටින් ජීවත්වීමේ කලාව” තේමා කරගත් “මොනරා TV” නාලිකාව අද සිට සිය විකාශන කටයුතු ආරම්භ කරනවා.

අද පෙරවරු 9.47 ට යෙදෙන සුබ මොහොතින් “මොනරා TV” විකාශන කටයුතු ආරම්භ වූ අතර “මොනරා TV” නාලිකා ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන බුද්ධික වික්‍රමාධර මහතායි.

ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලය හා අනුබද්ධිත නාලිකාවක වන “මොනරා TV” ප්‍රේක්ෂක රසවින්දනය උදෙසා නවමු ආරක වැඩසටහන් පෙළගැස්මක් ප්‍රේක්ෂක සහෘදයා වෙත ගෙනඒමට සූදානමින් පසුවනවා.

ඒ අනුව තාරුණ්‍යය වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් “මොනරා TV” හරහා ගෙනඑන අතර සති අන්තයේදී දරුවන් වෙනුවෙන් විශේෂිත වූ වැඩසටහන් ඒ හරහා ඉදිරිපත් කිරීමට නියමිතයි.

එමෙන්ම ප්‍රේක්ෂක රසවින්දනය වෙනුවෙන් ටෙලි නාට්‍ය විකාශය කිරීමට ද “මොනරා TV” සූදානමින් පසුවනවා.

මීට අමතරව සතියේ දිනවල කාන්තාවන් වෙනුවෙන් වූ වැඩසටහන් “මොනරා TV” ඔස්සේ ගෙනඑන අතරම සංගීතමය සහ දේශපාලනමය වැඩසටහන් ද ප්‍රේක්ෂකයින් වෙත ගෙනඒමට සූදානම්.

ඒ අනුව UHF 29 කොළඹ, UHF 56 ගොන්ගල, UHF 56 මඩොල්සිම, UHF 60 නුවරඑළිය, UHF 60 නුවර, UHF 49 රත්නපුර, UHF 56 ගම්මඩුව, නාලිකා අංක 104 PEO TV, නාලිකා අංක 28 FREESAT ඔස්සේ ඔබට මොනරා TV නැරඹිය හැකියි.

Share This