දිනපතා බෙහෙත් බොන්න සල්ලි නැහැ – ළමයි කිරි පිටි ඉල්ලලා අඩනවා කිරිවලට වතුර වැඩි කරලා දෙනවා

දිනපතා බෙහෙත් බොන්න සල්ලි නැහැ – ළමයි කිරි පිටි ඉල්ලලා අඩනවා කිරිවලට වතුර වැඩි කරලා දෙනවා

මෙරට ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත් වූ ජනතාව සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය ආයතන දිගින් දිගටම වාර්තා ඉදිරිපත් කර තිබුණා.

ඒ අතර අල්ජසීරා මාධ්‍ය ආයතනයද විශේෂයි.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් තවත් එවැනිම වාර්තාවක් එම මාධ්‍ය ආයතනය විසින් දක්වා තිබෙනවා.

එහි දක්වා ඇත්තේ කොළඹ ආශ්‍රිතව ජීවත්වන කුලී ත්‍රිරෝද රථ රියදුරෙකු පවතින ආර්ථික තත්ත්වයට මුහුණ දෙන ආකාරයයි.

ඔහුගෙන් අල්ජසීරා මාධ්‍ය ආයතනය ප්‍රශ්න කිහිපයක් විමසා තිබූ අතර එහිදී ඔහු සංවේදී පිළිතුරු ලබා දී ඇති ආකාරයක් දක්නට ලැබෙනවා.

මෙහි කතානායකයා මොහොමඩ් රිස්වි වන අතර ඔහු 41වන වියේ පසුවන්නෙක්. ඔහුගේ බිරිඳ ෆාතිමා මරියම් 39 හැවිරිදි වියේ පසුවන අතර ඔවුන්ට ළමුන් හතර දෙනෙක් සිටින බවයි දැක්වෙන්නේ.

එම දරුවන් වයස අවුරුදු 08, 06, 03 සහ 01 යන වයස්වල පසුවන්නන්.

රිස්වි අල්ජසීරා මාධ්‍ය ආයතනයට ප්‍රකාශ කර ඇත්තේ තමාගේ මාසික අදායම රුපියල් 30,000ට මදක් වැඩි බවයි.

එසේම තමා ඇතුළු පවුලේ සාමාජිකයන් ජිවත්වන නිවස සඳහා තමා රුපියල් 20,000ක මාසික කුලී මුදලක් ගෙවිය යුතු බවද ඔහු සඳහන් කර තිබෙනවා.

එළවලු කඩවල් රාත්‍රියේ වසා දැමීමට සුදානම් වනවිට ඉවත දමන එළවලු රැගෙනවිත් ජිවන වියදම අවම කරගැනීමට උත්සාහ කරන බවයි මොහොමඩ් රිස්විගේ බිරිඳ ෆාතිමා මරියම් ප්‍රකාශ කර ඇත්තේ.

එසේම ෆාතිමා අධි රුධිර පීඩනයෙන් පෙළෙන අතර ඒ සඳහා අවශ්‍ය ඖෂධ ලබා ගැනීමටද අපහසු වී ඇති බැවින් බොහෝ දුරට ඖෂධ මඟහරින බවද ඇය සඳහන් කර ඇති අතර, එම නිසා තමා දුර්වල වී ඇති බවද ෆාතිමා ප්‍රකාශ කර තිබෙනවා.

 

1. මේ මාසයේ ඔබට ගැනීමට තිබූ අමාරුම මූල්‍ය තීරණය කුමක්ද?

පිළිතුර – ඇතැම් දිනවල අපේ දරුවන්ට ලබා දෙන්න කිරිපිටි මිලදී නොගැනීම. සාමාන්‍යයෙන් අපි අපේ ළමයි තුන්දෙනාට කිරි පැකට් එකක් දෙනවා. නමුත් දැන්, අපට සෑම දිනකම එය දරාගත නොහැකි අතර, අපේ දරුවන් අඬනවා. අපි මිලි ලීටර් 180 කිරි පැකට්ටුවක් මිල දී ගෙන එහි ප්‍රමාණය වැඩි කිරීම සඳහා ජලය සමඟ මිශ්‍ර කරනවා.

2. මාසයේ වඩාත්ම වටිනා වියදම කුමක්ද?

පිළිතුර – අපේ දරුවන්ට ඔවුන් කැමති කෑම ටිකක් ලැබෙනවා දැකීමෙන් ලැබෙන සතුට කිසිවකට සම කරන්න බැහැ. සමහර වෙලාවට අපි එයාලට ටොෆි ටිකයි බිස්කට් පැකට් එකකුයි අරන් දෙනවා ළමයි කන්න ආසයි. කෙසේ වෙතත්, එය ද අධික මිලක් වනවා.

3. මූල්‍ය තත්ත්වය අසීරු වූ විට, ඔබට දෙන්න පුළුවන් උපදෙස් මොනවාද?

පිළිතුර – ඔබට යමක් සඳහා ගෙවිය නොහැකි නම්, එම අවශ්‍යතාවය සපුරාලීම සඳහා ණයක් ගන්න එපා. ණයට ගැනීම යනු ඔබේ මුළු පවුලම සහ ඔවුන්ගේ කීර්ති නාමය විනාශ කළ හැකි බරපතල කරදරයකට පත්වීම. ඔබ සතුව ඇති දේ සමඟ කළමනාකරණය කිරීම සැමවිටම වඩා හොඳයි.

4. මුදල් නොමැතිවීම නිසා ඔබ මේ මොහොතේ වැඩිපුරම කනස්සල්ලට පත්වෙලා ඇති දේ කුමක්ද?

පිළිතුර – කුලිය ගෙවීමට නොහැකි වීම. ඉඩම් හිමියා ද ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දී සිටින බැවින් මාස හයක කුලිය එකවර ගෙවන ලෙස ඉඩම් හිමියා අපෙන් ඉල්ලලා තිබෙනවා. නමුත් එවැනි මුදලක් ගෙවීම සිතාගත නොහැකි තරම් වන අතර අපට නිවසක් නොමැති වීමටද ඉඩ තිබෙනවා. මාසයක කුලිය ගෙවන්න මුදල් ඉතිරි කර ගැනීමට අපි වෙහෙසෙනවා.

5. ඔබ ආඩම්බර වන දේ කුමක්ද?

පිළිතුර – අවංකවම, අපට බොහෝ දේ ඉතිරි කර ගැනීමට නොහැකි වුණා. ගිය අවුරුද්දේ අපි දෙමව්පියෝ විදියට කිරි තේ බොන්නේ අපිට පුළුවන් කමක් තිබුණ නිසා. දැන් අපි සාමාන්‍ය තේ පානයට මාරු වෙලා අපේ දරුවන්ට කිරි තේ දෙනවා. අපි කරපු කැපකිරීම ගැන ආඩම්බරයි.

Share This