ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දීම, රජය ගත් විප්ලවීය පියවරක්

ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දීම, රජය ගත් විප්ලවීය පියවරක්

ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දීම රජය ගත් පියවර විප්ලවීය පියවරක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

එමෙන්ම ලොව කිසිඳු රටක මෙතෙක් එවැනි දැවැන්ත වැඩසටහනක් ක්‍රියාත්මක වී නොමැති බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

මහවැලි ජනපදිකයන් වෙත “උරුමය” වැඩසටහන යටතේ සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ සමාරම්භක උත්සවයට පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ දී අද (04) පෙරවරුවේ එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

රටේ ගොඩනැඟෙන ආර්ථිකයේ ප්‍රතිලාභ එක් කොටසකට හිමිවන විට තවත් කොටසකට දුක් විඳීමට ඉඩ තැබිය නොහැකි බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ විප්ලවීය වැඩසටහන ආරම්භ කළේ අඩු ආදායම් ලාභී ජනතාව නගාසිටුවීමට බව පැවසුවා.

මෙම ඉඩම් අයිතිය සමග රජයේ කෘෂි නවීකරණ වැඩපිළිවෙළ සමග එක්වෙමින් තම ආර්ථිකය ගොඩනගා ගැනීමට ජනතාව කටයුතු කළයුතු බව පැවසූ ජනාධිපතිවරයා පොළොන්නරුව මෙරට ප්‍රධාන අපනයන දිස්ත්‍රික්කයක් බවට පත් කිරීමේ හැකියාවද පෙන්වා දුන්නා.

සියලුදෙනා එපා කී ආණ්ඩුවක් භාරගෙන එක් කණ්ඩායමක් සමග පමණක් එක්ව ඉතා කෙටි කලකින් රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට තමාට හැකි වූ බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

එමෙන්ම ඉදිරි වසර දෙක, තුන තුළ රටේ ආර්ථිකය ශක්තිමත් කර තරුණ පරපුරට හොද අනාගතයක් නිර්මාණය කර දීමට එක්වන ලෙස සියලු පාර්ශ්වවලට ආරාධනාවක්ද කළා.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් සින්නක්කර ඔප්පු 204,002 සකස් කිරීමට සැලසුම් කරඇති අතර මේ වන විට සියලුම කලාප මට්ටමින් සින්නක්කර ඔප්පු සකස් කරමින් පවතිනවා.

ඒ අනුව මැයි මාසය අවසන්වන විට සින්නක්කර ඔප්පු 20,178 මහවැලි ජනපදිකයන් වෙත බෙදා දීමට සැලසුම් කර ඇති බව සඳහන්.

එහි සමාරම්භය සනිටුහන් කරමින් සින්නක්කර ඔප්පු 1340ක් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බී, සි, මැදිරිගිරිය මොරගහගකන්ද යන මහවැලි කලාපවල ජනපදිකයන් වෙත බෙදාදීම මෙහිදී සිදු කළා.

ඉඩම් ඔප්පු ප්‍රදානය සංකේතවත් කරමින් 30දෙනෙකු වෙත ඉඩම් ඔප්පු ලබාදීම ජනාධිපතිවරයා අතින් සිදු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

Share This