ගෝඨාභයට යළි ප්‍රතිචාර දැක්වූ කාදිනල් හිමි

ගෝඨාභයට යළි ප්‍රතිචාර දැක්වූ කාදිනල් හිමි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ස්වාධීන, විනිවිද පෙනෙන සහ සත්‍යවාදී විමර්ශනයක් කඩිනමින් අවශ්‍ය බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

එවැනි විමර්ශනයක් ලැබෙන තෙක් අවදියෙන් සිටින බවයි කාදිනල් හිමි නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට වසර 5ක් සපිරීම නිමිත්තෙන් අප්‍රේල් 21 වැනි ඉරිදා පැවති වැඩසටහනකදී කාදිනල් හිමි පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරුණු විමර්ශන යටපත් කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කළ බවට චෝදනා කර තිබුණා.

කෙසේවෙතත් එම චෝදනා සිදුකර දින 04කට පසු ඊට ප්‍රතිචාර දක්වමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.

ඒ අනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කළ එම මාධ්‍ය නිවේදනයට ප්‍රතිචාර දක්වමින් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් නිවේදනයක් නිකුත් කර ඇති අතර එමඟින් සඳහන් කර ඇත්තේ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ ඇතුළත් නිර්දේශ ක්‍රියාත්මක කිරීම අසීරු බව හිටපු ජනාධිපතිවරයා තමන් වෙත දුරකථනයෙන් අමතා පැවසූ බවයි.

කෙසේවෙතත් ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව ලද විගස තමන් කාදිනල්තුමාට දුරකථනයෙන් කතා කොට ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම අසීරු බව නොපැවසූ බව ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වුණා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරම්භ කළ පාස්කු ප්‍රහාරය යටගැසීමේ පිළිවෙත වත්මන් ආණ්ඩුව ඊටත් ඉහළ මට්ටමකින් ඉදිරියට ගෙනයන බව කාදිනල් හිමි අදාළ නිවේදනය මගින් පෙන්වා දී තිබෙනවා.

මීට අමතරව අප්‍රේල් 21 වනදා පැවති වැඩසටහනේදී කාදිනල් හිමි තමන්ට එල්ල කළ අනෙක් චෝදනා සම්බන්ධයෙන්ද හිටපු ජනාධිපතිවරයා ප්‍රතිචාර දක්වා තිබුණා.

කෙසේවෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් කාදිනල් හිමි නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව සිය අතට පත්වූ දිනට පසුදින තමන් කාදිනල් හිමිට දුරකථන ඇමතුමක් නොගත් බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය නිවේදනයෙන් පැවසුවද, එය මුළුමනින්ම අසත්‍ය බවයි.

අදාළ ඇමතුමේදී ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව තුළ තහනම් කරන ලෙස නිර්දේශ කර තිබූ මුස්ලීම් ජාතිකයන් අතර වෛරය පැතිරවීමට මුල්වූ ප්‍රතිවිරුද්ධ සංවිධානයක් තහනම් කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා අකමැත්ත පළ කළ බව කාදිනල් හිමි සිය නිවේදනයෙන් නැවත වරක් තහවුරු කර තිබෙනවා.

“වාර්තාවේ 25 වන පරිච්ඡේදයේ ඉස්ලාම් අන්තවාදී සංවිධාන තහනම් කළ යුතු බවට ප්‍රකාශ කර තිබෙන අතරම ඒ සමග වෙනත් සංවිධාන නම් කර ඇති අතර ඒවායේ විස්තරද දීර්ඝ ලෙස හුවා දක්වා ඇත. ගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තුමා එදා මා හට දුරකථනයෙන් ප්‍රකාශකර සිටියේ ඒ සංවිධාන තමන්ට හිතවත්වීම නිසා ඔවුන්ට විරුද්ධව කටයුතු කිරීමට යෝජනා කර ඇති ක්‍රියාදාමයන් ඉටුකළ නොහැකි බවයි. එම සංවිධානයට රාජපක්ෂ ජනාධිපතිතුමා කිට්ටුවෙන් සම්බන්ධවූ බව අප තේරුම් ගන්නේ එතුමා විසින්ම එම සංවිධානයේ ලේකම්තුමා පසු කලෙක “එක රටක් එක නීතියක් ” කොමිසමේ සභාපතිතුමන් ලෙස පත්කරන්නට යෙදුණු නිසාය.” යනුවෙන් අදාළ නිවේදනයේ සඳහන් වනවා.

එමෙන්ම පාස්කු ප්‍රහාරය දියත් කළ ත්‍රස්තවාදීන්ට මෙන්ම, ඒ අයට විරුද්ධව ක්‍රියාකාරී නොවු විවිධ පාර්ශ්වයන් විවේචනය නොකර කාදිනල් හිමි තමන්ට පමණක් දොස් නගන බවට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නගන චෝදනාව ද සත්‍යයෙන් තොර බවයි කාදිනල් හිමි සිය නිවේදනය තුළින් පෙන්වා දී ඇත්තේ.

ප්‍රහාරය වළක්වා නොගත් පොලීසියේ උසස් නිලධාරීන් සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව කොමිෂන් සභාව කර තිබූ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට සිය ධුර කාලය තුළදී කටයුතු නොකළේ මන්ද යනුවෙන් උන්වහන්සේ සිය නිවේදනයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කර සිටිනවා.

ජනාධිපති කොමිසම් සභාව නිර්දේශ කළ විමර්ශන හා නඩු පැවරීම් සිදුනොකර ගෝඨාභය රාජපක්ෂ මහතා ආරම්භ කළ පාස්කු ප්‍රහාරය යටගැසීමේ පිළිවෙත අද පවතින රජයද ඊටත් ඉහළ මට්ටමකින් ඉදිරියට ගෙනයන බව කාදිනල් හිමි නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

Share This