වසරේ පළමු මාස තුන තුළ අපේක්ෂිත රාජ්‍ය ආදායම ඉහළට

වසරේ පළමු මාස තුන තුළ අපේක්ෂිත රාජ්‍ය ආදායම ඉහළට

2024 පළමු තෙමස තුළ අපේක්ෂිත රාජ්‍ය ආදායම ඉක්මවා යාමට හැකි වී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කර සිටිනවා.

එම කාලය තුළ මෙරට ප්‍රධාන ආදායම් ලබන ශ්‍රී ලංකා රේගුව, සුරාබදු සහ දේශීය ආදායම් යන දෙපාර්තමේන්තු උපයා ඇති ආදායම රුපියල් බිලියන 834ක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

එය අපේක්ෂිත ආදායම වූ රුපියල් බිලියන 787ට වඩා 6%ක ආදායම් ඉලක්ක අභිබවා යාමක් බව අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටිනවා.

ඒ අනුව 2024 වසරේ පළමු කාර්තුව තුළ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව 13%ක ආදායමක් ලබමින් රුපියල් බිලියන 430ක් උපයා තිබෙනවා.

රේගු දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 353ක ඉලක්කය වෙත ළගා වීමට සමත් වී ඇති අතර සුරාබදු දෙපාර්තමේන්තුව ද අදායම් ඉල්ලකවලින් 96%ක් ලබා ගනිමින් රුපියල් බිලියන 51ක ආදායමක් උපයා ඇතැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

මෙහිදී අමාත්‍යවරයා සඳහන් කරන්නේ 2024 වසර තුළ රජය රුපියල් බිලියන 4106ක ආදායමක් අපේක්ෂා කරන බවයි.

පසුගිය කාලවකවානුව තුළ ආර්ථික අර්බුදයට හේතු වූයේ රාජ්‍ය ආදායම් මට්ටම පහළ යාම බවත් මෙම වසරේ පළමු කාර්තුවේ මෙම ඉලක්ක අභිබවා යාම සහ ආදායම් ලැබෙන රටාව අනුව සලකා බැලීමේ දී 2024 වසර ආදායම් ඉලක්ක සපුරා ගත හැකි වසරක් බවට පත් වනු ඇති බව ද මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Share This