නීති විරෝධී සංක්‍රමණිකයන් ලෙස ශ්‍රී ලාංකිකයන් බ්‍රිතාන්‍යයට පැමිණීම වළක්වාලන්න සහයෝගය දෙන්න

නීති විරෝධී සංක්‍රමණිකයන් ලෙස ශ්‍රී ලාංකිකයන් බ්‍රිතාන්‍යයට පැමිණීම වළක්වාලන්න සහයෝගය දෙන්න

ශ්‍රී ලාංකිකයන් නීති විරෝධී සංක්‍රමණිකයන් ලෙස බ්‍රිතාන්‍යයට පැමිණීම වළක්වාලීම සඳහා සහයෝගය දක්වන ලෙස මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් Sarah Hulton මහත්මිය මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

පොදුරාජ්‍ය හා සංවර්ධන කාර්යාලයේ ඉන්දු- පැසිෆික් කලාපීය සහ ඉන්දියාවේ අධ්‍යක්ෂ බෙන් මෙලර් මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේ දී මහජන ආරක්ෂක අමාත්‍යවරයා සමග පැවති හමුවකට එක්වෙමින් ඇය මේ බව ප්‍රකාශ කර ඇති බව සඳහන්.

එහිදී අදහස් දක්වමින් ටිරාන් අලස් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත්තේ බ්‍රිතාන්‍යය විසින් ද මෑතකදී නව නීති හඳුන්වා දුන් අතර එය රටේ නීතිය සාමය පවත්වා ගැනීමට අනිවාර්යයෙන්ම අවශ්‍ය බවයි.

අදාළ සාකච්ඡාවේ දී බෙන් මෙලර් මහතා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින සිව්දෙනෙකු පිළිබඳව විමසා ඇති අතර
ඔවුන් පාස්කු ප්‍රහාරය සම්බන්ධ සැකකරුවන් වන අතර එම අවස්ථාවේ පැවති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අනුව එම පිරිස අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවා ඇති බව අමාත්‍ය ටිරාන් අලස් මහතා එහිදී සඳහන් කර තිබෙනවා.

අදාළ හමුවේ දී අදහස් දක්වමින් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් Sarah Hulton මහත්මිය ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් වෙත නීති රීති භාවිතය පිළිබඳව පුහුණු වැඩමුළුවක් සූම් තාක්ෂණය ඔස්සේ බ්‍රිතාන්‍ය පොලිසිය ද සම්බන්ධ කරගනිමින් සංවිධානය කිරීමට කටයුතු කරන බවයි.

Share This