බ්‍රසීල ජනාධිපති ස්වයං නිරෝධායනයට

බ්‍රසීල ජනාධිපති ස්වයං නිරෝධායනයට

බ්‍රසීල ජනාධිපති ජායිර් බොල්සොනාරෝ ස්වයං නිරෝධායනයට යොමු වී තිබෙනවා.

ඒ ඔහුත් සමඟ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගි වූ බ්‍රසීල සෞඛ්‍ය අමාත්‍යවරයාට කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන්.

ලොව රටවල් සහ පාලන බල ප්‍රදේශ 221ක ව්‍යාප්ත වී ඇති කොවිඩ් – 19 වෛරසය ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව විසිතුන් කෝටි 13 ලක්‍ෂය ඉක්මවා ඇත්තේ ආසාදිත මරණ 47 ලක්‍ෂ 42,000කට අධික සංඛ්‍යාවක් වාර්තා කරමින්.

නවසීලන්තයේ විශාලතම නගරය වන ඔක්ලන්ඩ් නගරයේ ඩෙල්ටා වෛරස් ප්‍රභේද ව්‍යාප්තිය සීඝ්‍ර ලෙස ඉහළයෑම හේතුවෙන් නගරය අගුළු දැමීම සති දෙකකින් දීර්ඝ කිරීමටයි එරට බලධාරින් තීරණය කර තිබෙන්නේ.

කෙසේ වෙතත් එහි සිව්වන මට්ටමේ පැවති කොවිඩ් පාලන සීමා තෙවන මට්ටම දක්වා පහත දමා තිබෙනවා.

මෙම නව සීමා යටතේ ආහාර පාන බැහැරට ගෙයාම සඳහා පමණක් අවන්හල් විවෘත කිරීමට අවසර ලබාදී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

දිනෙන් දිනම රුසියාවෙන් වාර්තා වන කොවිඩ් මරණවල ඉහළයෑමක් පෙන්නුම් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ගතවූ දිනයේ රුසියාවෙන් වාර්තා වූ මරණ සංඛ්‍යාව 820ක්.

මෙවැනි තත්ත්වයක් පැවතුනත් නැවතත් රට වසා දැමීමක් පිළිබඳව එරටින් වාර්තා නොවන නමුත් ආසාදිතයින් ඉහලයෑම පාලනයට වෙනත් ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව බලධාරින්ගේ අවධානය යොමුවී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අමෙරිකාවේ නිව්යෝර්ක් හි පැවත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගි වීමට පැමිණි බ්‍රසීල සෞඛ්‍ය අමාත්‍යවරයාට කොවිඩ් ආසාදිත බවට පසුගිය දා අනාවරණය වූ අතර මේ හේතුවෙන් ඔවුන්ගේ ආශ්‍රිතයෙකු වූ බ්‍රසීල ජනාධිපති ජායිර් බොල්සොනාරෝ තම නිවසේදී ස්වයං නිරෝයනයට යොමු වී සිටිනවා.

සැසියට සහභාගිවීම සඳහා ගිය සමස්ථ බ්‍රසීල නියෝජිත කණ්ඩායමට ද මේ වනවිට හුදකලා කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

මේ අතර, ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතට බි්‍රතාන්‍යයේ අනුමැතිය හිමිවී තිබෙනවා.

මෙම එන්නත මේ වනවිට ඉන්දියාවේ එන්නත්කරණය සඳහා යොදා ගැනෙන ප්‍රධානතම කොවිඩ් මර්දන එන්නතයි.

මේ අතර, ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය සහ නේවාලය සඳහා පනවා තිබූ කොවිඩ් සංචරණ සීමා ඉවත් කිරීමට මලයාසියාව පියවර ගෙන තිබෙනවා.

Share This