ජාත්‍යන්තර ආධාර යටතේ ගොවි පවුල් සඳහා නොමිලයේ ප්‍රදාන

ජාත්‍යන්තර ආධාර යටතේ ගොවි පවුල් සඳහා නොමිලයේ ප්‍රදාන

අන්තර් ජාතික සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) ආධාර මත දිස්ත්‍රික්ක 07ක අඩු ආදායම්ලාභී වී වගා කරන ගොවි පවුල් සඳහා එක් පවුලකට රුපියල් 15,000 බැගින් ලබා දෙන දීමනාව යාපනය, මුලතිව්, මන්නාරම, ත්‍රිකුණාමලය, වවුනියාව, මොනරාගල හා මඩකලපුව දිස්ත්‍රික්කවල වෙසෙන මාසික ආදායම රුපියල් 41,500ට වඩා අඩු ගොවි පවුල් සඳහා ලබා දීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශය, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම මුදල එම දිස්ත්‍රික්කවල අඩු ආදායම්ලාභී ගොවි පවුල්වෙත ලබා දෙන ලෙස USAID විසින් ද උපදෙස් ලබා දී තිබෙනවා.

මෙම මුදල වාරික දෙකක් යටතේ ලබන ලබන ජනවාරි මාසයේ දී ලබාදීමට කටයුතු කරන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඒ.එම්. එච්. එල්. අබේරත්න මහතා පවසනවා.

එමෙන්ම ආසියානු සංවර්ධන බැංකුව විසින් රුපියල් බිලියන 08ක මුදලක් දිවයිනේ වී වගා කරන ගොවි පවුල් ලක්ෂ 12කට ලබාදීමට කටයුතු කර තිබෙනවා.

රුපියල් 10,000 සිට 20,000 දක්වා මුදලක් ගොවි ජනතාව වෙත ලබා දෙන අතර එහි පළමු අදියර යටතේ රුපියල් බිලියන 04ක් මෙම මාසයේ 31 දිනට පෙර අදාළ ගොවීන්ගේ ගිණුම් වෙත බැර කිරීමට කටයුතු යොදා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම එකදු දීමනාවක්වත් ගොවීන්ගෙන් නැවත අය කිරීමට කටයුතු නොකරන අතර මෙම සියලුම ජාත්‍යන්තර ආධාර අපේ රටේ ගොවි ජනතාව වෙත නොමිලයේ ප්‍රදාන වශයෙන් ලබා දෙන ලද ඒවා බව කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළා.

Share This