රුසියාවේ සහ චීනයේ ඔත්තු බැලීමේ තර්ජන ජර්මනියට

රුසියාවේ සහ චීනයේ ඔත්තු බැලීමේ තර්ජන ජර්මනියට

රුසියානු සහ චීන ඔත්තු බැලීම් පිළිබඳ චෝදනා ප්‍රවාහයක් බවට පත්ව ඇති මෙම මාසයේ පමණක් ජර්මනියේදී ඔත්තුකරුවන් යැයි සැක කරන හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ජර්මනියේ අන්ත දක්ෂිණාංශික Alternative for Germany (AfD) පක්ෂය මේ හේතුවෙන් අවමානයට පත්වී ඇති බව සඳහන්.

ඒ ජුනි මාසයේ යුරෝපීය මැතිවරණය සඳහා ඔවුන්ගේ ඉහළම අපේක්ෂකයින් දෙදෙනාට මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බවයි.

පක්ෂයේ ප්‍රධානියා වන මැක්ස්මිලියන් ක්‍රා ගේ සහායකයෙකු චීනය වෙනුවෙන් ඔත්තු බැලීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ චීන රහස් ඔත්තු සේවකයෙකු බවට ජියන් ජීට චෝදනා එල්ල වීමත් සමගයි.

රුසියානු සහ චීන හිතවාදී මූලාශ්‍රවලින් මුදල් ගෙවා ඇති බවට චෝදනා එල්ල වන දේශපාලනඥයා සම්බන්ධයෙන්ද පැමිණිලිකරුවන් මූලික විමර්ශන ආරම්භ කර තිබෙනවා.

කෙසේ වෙතත් පක්ෂයේ ප්‍රධානියා වන මැක්ස්මිලියන් ක්‍රා මේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරනවා.

දින කිහිපයකට පෙර ජර්මනියේ අන්ත දක්ෂිණාංශික ලැයිස්තුවේ දෙවන නම වන පෙට්‍ර බිස්ට්‍රෝන්, රුසියානු බුද්ධි අංශයේ පෙරමුණක් වූ බවට යුරෝපීය බුද්ධි අංශ විසින් චෝදනා කරන ලද Voice of Europe වෙබ් අඩවියෙන් මුදල් ලබාගත් බවට එල්ල වූ චෝදනාද ප්‍රතික්ෂේප කළා.

යුක්‍රේනයේ ජර්මනි හමුදා ආධාර කඩාකප්පල් කිරීමට සැලසුම් කළ බවට සැකපිට රුසියානු සම්භවයක් ඇති ජර්මානු ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, උසස් එන්ජින් සැලසුම් චීන බුද්ධි අංශ වෙත ලබා දීමට සැලසුම් කළ බව කියන ජර්මානුවන් තිදෙනෙකු රඳවා තබාගෙන ප්‍රශ්න කරන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This