ඇහැලේපොළ වලව්ව මෙරට පළමු ඉටිරූප කෞතුකාගාරය වෙයි (PHOTOS)

ඇහැලේපොළ වලව්ව මෙරට පළමු ඉටිරූප කෞතුකාගාරය වෙයි (PHOTOS)

නාගරික සංවර්ධන අධිකාරිය විසින් ප්‍රතිසංස්කරණය කල ඇහැලේපොළ වලව්ව දළදා මාලිගාවට පවරා දීමෙන් පසු පුරාවිද්‍යාත්මක හා සංස්කෘතිකමය වටිනාකම් ආරක්ෂා කර ගනිමින් මෙම ඉටි රූප කෞතුකාගාරය නිර්මාණය කරන බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර මහතා පවසනවා.

ඇහැලේපොළ වලව්ව අයත් මහනුවර යුගයේ ගෘහනිර්මාණ ශිල්ප, චාරිත්‍ර වාරිත්‍ර සංස්කෘතිය, ආහාර රටාව, කර්මාන්ත හා කලා ශිල්ප ද එම වලව්ව තුල ඉටි රූප ආශ්‍රිතව ප්‍රතිනිර්මාණය කෙරෙන බව සඳහන්.

එමෙන්ම ජාතික වීරවරයන් වන මොණරවිල කැප්පෙටිපොළ දිසාව, ඇහැලේපොල මහාධිකාරම්තුමා, දේවේන්ද්‍ර මූලාචාරීතුමා මෙන්ම ඇහැලේපොල පවුලේ සාමාජිකයන්ගේද ඌව වෙල්ලස්ස කැරැල්ලට නායකත්වය දුන් නායකයන්ගේ ජීවමාන ඉටිරූප මෙහි නිර්මාණය කිරීමට සැලසුම් කර තිබෙනවා.

මෙරට පෞඩෟත්වය හා අභිමානය විදහා දැක්වෙන මෙම ඉටි කෞතුකාගාරය දෙස් විදෙස් ආකර්ශනය දිනා ගනු ඇතැයි විශ්වාස කරන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑලබණ්ඩාර මහතා පවසනවා.

මහනුවර යුගයට අයත් ඇහැලේපොළ වලව්ව ක්‍රි.ව. 1800ත් 1810ත් අතර කාලයේ දී ඉදි වු බව සැලකෙනවා.

එය ඇහැලේපොල නිලමේතුමාට අයත්ව තිබූවක්.

මෙරට ඉතිහාසයේ අනුවේදනීයම චරිත ලෙස සැලකෙන ඇහැලේපොල කුමාරිහාමි මෙන්ම වීරමද්දුම බණ්ඩාර කුමරුද වාසය කළේ මෙම වලව්වේයි.

ඉංග්‍රීසින් විසින් වර්ෂ 1818 දී කන්ද උඩරට අත්පත් කර ගැනීමෙන් අනතුරුව ඇහැලේපොල වලව්ව සිරගෙදරක් ලෙස භාවිතා කර තිබෙනවා.

එහි දී ඔවුන් වලව්වේ මුල් ස්වරූපයට හානි කරමින් නව සිරි මැදිරි පරිශ්‍රයක්ද ඉදිකර ඇති බව සදහන්ය.

උඩරට එක්සත් කර ගැනීම සදහා විමුක්ති අරගලය මෙහෙයවන ලද මොණරවිල කැප්පෙටිපොල, ඇහැලේපොල නිලමේතුමා ඇතුලු ජාතික වීරවරයන් 50කට ආසන්න පිරිසක් ඉංග්‍රීසින් මෙහි සිරගත කර තිබෙනවා.

වසර දෙදහකට වඩා පැරණි පර්චස් 141ක භුමි ප්‍රමාණයක පිහිටා ඇති ඇහැලේපොළ වලව්ව වර්ෂ 2013දී බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් නිදහස් කර නාගරික සංවර්ධන අධිකාරියට පැවැරූ අතර අධිකාරිය එය නැවත ප්‍රතිසංවර්ධනය කිරීමට කටයුතු කළා.

නාගරික සංවර්ධන අධිකාරිය මෙකී ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධයෙන් අදහස් පල කළ නාගරික සංවර්ධන අධිකාරියේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ ඊ.එම්.එස්.බී. ඒකනායක මහතා සදහන් කළේ රුපියල් මිලියන 150ක මූල්‍ය ප්‍රතිපාදන යටතේ මෙම ප්‍රතිසංවර්ධන කටයුතු සිදු කෙරුණ බවයි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ මාර්ගෝපදේශයන්ට ද යටත්ව මෙම ප්‍රතිසංවර්ධන කටයුතු සිදු කළ අතර ඒ සදහා ශ්‍රී ලංකා යුද හමුදාවේ සහ නාවික හමුදාවේ ශ්‍රම දායකත්වය ලබා දුන් බවයි ඒකනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

 

 

Share This