ආර්ථිකය 3%කින් ඉහළට – මහ බැංකුවෙන් විවරණයක්

ආර්ථිකය 3%කින් ඉහළට – මහ බැංකුවෙන් විවරණයක්

මේ වසරේ (2024) දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 03කින් වර්ධනය වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පුරෝකථනය කර තිබෙනවා.

නව මහ බැංකු පනත අනුව ප්‍රථම වරට නිකුත් වූ මහ බැංකුවේ ‘වාර්ෂික ආර්ථික විවරණය’ නම් වාර්තාවේ (2023) මේ බව සඳහන්.

මුදල් ප්‍රතිපත්ති ලිහිල් කිරීම සහ අඩු උද්ධමන පරිසරයේ ප්‍රතිලාභ ආර්ථිකය වෙත අඛණ්ඩව ගලායෑම හේතුවෙන් මේ ආර්ථික වර්ධනය වාර්තා කරනු ඇතැයි අපේක්‍ෂා කරන බවත් ගිය වසරේ (2023) දී සියයට 2.3කින් ආර්ථිකය පසුබෑමට ලක්වූ බවත් එම වාර්තාවේ සඳහන් වනවා.

කාර්තු හයක් අඛණ්ඩව පසුබෑමට ලක් වූ ආර්ථිකය 2023 වසරේ දෙවන මාස හයේදී ධන ආර්ථික වර්ධනයක් වාර්තා කළ බවත් එම ආර්ථික කාර්යසාධනය සහ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම ඉදිරි කාල පරිච්ඡේදයේදී අඛණ්ඩව පවතිනු ඇති බවත් එම වාර්ෂික ආර්ථික විවරණයේ (2023) දැක්වෙනවා.

2024 වසර සහ ඉන් ඉදිරියට විදේශීය අංශයේ ඉදිරි දැක්ම, විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව නිම කිරීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනේ දක්වා ඇති ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ඉදිරියට ගෙනයෑම මත රඳා පවතින බවද එම වාර්තාව මගින් මහ බැංකුව තවදුරටත් අවධාරණය කර තිබෙනවා.

මින් ඉදිරියට මහ බැංකුවේ වාර්ෂික වාර්තාව වෙනුවට දිගටම නිකුත් වන්නේ මෙම ‘වාර්ෂික ආර්ථික විවරණය’ නම් වාර්තාවයි.

Share This