ගින්නෙන් දැවුණු ‘නැව ගැන’   නොදත් දේ

ගින්නෙන් දැවුණු ‘නැව ගැන’ නොදත් දේ

වෙරළට ගොඩගසන ලද ද්‍රව්‍ය එකතු කරමින් සංචරණ සීමා නොතකා කටයුතු කරන පිරිස් හේතුවෙන් X-Press Pearl නෞකාව පිළිබඳව විශාල කතාබහක් ඇතිව තිබෙනවා.

ගින්න පාලනය කර ඇති මෙම නැව පිළිබඳව සහ ඇතිව තිබෙන තත්ත්වය පිළිබඳවයි මෙම ලිපියෙන් අප කතාබහ කරන්නේ.

මෙම නෞකාව ලෝකයේ ප්‍රධානතම ආයතනයක් වන X-Press Feeders විසින් මෙහෙයවනු ලබනවා.

සිංගප්පූරු ධජය යටතේ ලියාපදිංචි වී ඇති මෙම නැවේ තෙල් ටොන් 3000ක් පමණ ඇති බව සඳහන්.

2021 මැයි මස 15 වන දින මෙම නෞකාව ඉන්දියාවේ හසීරා වරායේ සිට නයිට්‍රික් ඇසිඩ් (Nitric acid) ටොන් 25ක් සහ වෙනත් රසායනික ද්‍රව්‍ය සහ රූපලාවන්‍ය ආලේපන ද්‍රව්‍ය සහිත බහාලුම් 1486ක් රැගෙන යාත්‍රා කරමින් තිබුණා.

2021 මැයි මස 19 වන දින කොළඹ වරාය ආසන්නයට පැමිණි නෞකාව ඒ වෙත ඇතුළුවීමේ අපේක්ෂාවෙන් නාවික සැතපුම් 9.5ක් දුර මුහුදේ නැංගුරම් ලා තිබියදී ගින්න හටගෙන ඇති බවට නාවික හමුදාව බීබීසී පුවත් සේවය සමග සඳහන් කර තිබුණා.

X-PRESS PEARL නෞකාව 2021 වර්ෂයේ නිපදවූවක් ලෙස wikipedia  වෙබ් අඩවියේ සඳහන් වනවා.

මේ වනවිට ගිනිගත් නෞකාවෙන් රතු පැහැ ගිනිදැල් ප‍්‍රදර්ශනය නොවන බවත් කළු පැහැ දුම පමණක් දැකිය හැකි බවත් නාවික හමුදාව සඳහන් කළා.

ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා තිබුණේ ගින්න පාලනය කර ඇති බවයි.

නෞකාවේ ගින්න පාලනය කිරීමට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ඒකාබද්ධ මෙහෙයුමක නිරත වුණා.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අපද්‍රව්‍ය මෙන්ම එහි බහාලුම්වල තිබූ අපද්‍රව්‍ය මේ වන විට ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ තීරයන් වෙත ගොඩ ගසා තිබෙන අතර විශේෂයෙන්ම ප්ල්ස්ටික් කැට මිලියන ගණනක් වෙරළට ගොඩ ගසා තිබෙනවා.

නෞකාවේ හටගත් ගින්න හේතුවෙන් මේ වන විට එහි තිබෙන රසායනික ද්‍රව්‍ය ගින්බත් වෙමින් මුහුදට එක්වෙමින් තිබෙන අතර ඒ මගින් මුහුදු ජීවීන්ට හා මුහුදු පරිසර පද්ධතියට බලපෑමක් සිදුවීද යන්න පිළිබද පරීක්ෂණයක් සිදුකොට වාර්තාවක් ලබා දෙන ලෙස ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා නාරා ආයතනයට උපදෙස් ලබා දී තිබෙනවා.

ගිනි ගැනීමත් සමග එහි ඇති බහාලුම් මුහුදු පරිසර පද්ධතියට එක් වීමෙන් සිදුවන හානිය ගැන තක්සේරු කිරීම සදහා ඒ පිළිබද පර්යේෂණ සිදු කරන කණ්ඩායම් යෙදවීමට අවශ්‍ය කටයුතු කරන ලෙස අමාත්‍යවරයා නාරා ආයතනයේ සභාපති මහාචාර්ය නවරත්න රාජා මහතාට උපදෙස් ලබා දී ඇති බව සඳහන්

 

 

Share This