ලක්ෂ 15ක් වටිනා විදේශීය දුම්වැටි තොගයක් කටුනායකදී අල්ලයි

ලක්ෂ 15ක් වටිනා විදේශීය දුම්වැටි තොගයක් කටුනායකදී අල්ලයි

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එමින් සිටියදී පුද්ගලයන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

එහි වටිනාකම රුපියල් ලක්ෂ 15 ක් බවයි වාර්තා වන්නේ.

පළමු වැටලීමේදී ඕමානයේ මස්කට් නුවර සිට ගුවන් තොටුපොළ වෙත පැමිණි කුරුවිට , පරකඩුව ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි හෝටල් ක්ෂේත්‍රයේ රැකියාවක නිරත පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා .

ඔහු සිය ගමන් මලුවල රුපියල් අට ලක්ෂ හැට දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි 8,600 ක් අඩංගු දුම්වැටි පෙට්ටි 43ක් සගවා ගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගත බවයි සඳහන් වන්නේ.

එමෙන්ම කොළඹ – 14 , නාගලගම් වීදියේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකු ඩුබායි සිට පැමිණ තිබූ අතර , ඔහුගේ ගමන් මලු අතපසු වී ගුවන්තොටුපොළ තුළ දමා ගොස් තිබුණා.

ඔහු එම ගමන්මලු කටුනායක ගුවන් තොටුපොළ වෙත නැවත පැමිණ රැගෙන යමින් සිටියදී , ඒවා තුළ සගවා ගෙන තිබූ රුපියල් හය ලක්ෂ හතලිස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි 6,400 ක් අඩංගු දුම්වැටි පෙට්ටි 32ක් සොයා ගෙන පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් අත් අඩංගුවට ගෙන ගත බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Share This