කම්කරුවා යනු බර වැඩෙහි යෙදෙන, අන්ත දුගීභාවයෙන් පෙළෙන සේවා නියුක්තිකයා නොවේ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස-

කම්කරුවා යනු බර වැඩෙහි යෙදෙන, අන්ත දුගීභාවයෙන් පෙළෙන සේවා නියුක්තිකයා නොවේ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස-

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් මැයි දින පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතා ද සිහිපත් කරමින් එතුමා එම සටහන නිකුත් කර තිබෙනවා.

“කම්කරුවා” යනු බර වැඩෙහි යෙදෙන, අන්ත දුගීභාවයෙන් පෙළෙන සේවා නියුක්තිකයා පමණක් නොවේ. යම්කිසි රැකියාවක යෙදෙමින් රටෙහි දියුණුවට දායක වන ඔබ සියල්ලන්ම කම්කරුවන් ය.

අද, මැයි පළමුවැනිදා යනු ඔබේ දිනයයි. සොරකමෙන්, දූෂණයෙන් තොරව, දහදිය හෙළමින්, නිසිපිරිදි බදු ගෙවමින් ඔබේ ලබැඳියන් සහ සමස්ත මහජනතාව පෝෂණය කරන ඔබේ නමින් වසරේ දිනයක් වෙන්විය යුතුමය.

රාජපක්ෂ පාලනයේ අනවශ්‍ය වියදම් සහ අකාර්යක්ෂම මූල්‍ය පාලනය නිසා බංකොලොත් වූ රටෙහි බර උසුලන ඔබට, තවමත් නිසි වැටුප් සහ අයිතිවාසිකම් ලැබී නැත. රටෙහි මූල්‍ය පාඩුව පියවීම වෙනුවෙන්, කිසිදු වරප්‍රසාදයක් නොලබමින් ඔබට දෙගුණයක් වෙහෙස වන්නට සිදුවී ඇත. එහෙත්, ඉක්මණින්ම මේ දුර්දාන්ත පාලන ක්‍රමය අවසන් විය යුතුය.

1886 චිකාගෝ වැඩ වර්ජනයේදී පැය 8ක සේවා කාලයක් ලබාගැනීම වෙනුවෙන් වෙඩි වරුසා මැද උද්ඝෝෂණය කළ කම්කරුවන් සිහිපත් කිරීම වෙනුවෙන් නම් කළ “කම්කරු දිනය” මා හට තවත් සංවේදී මතකයක් අවදි කරන්නකි.

“දුප්පතාගේ හිතවතා” නමින් ප්‍රකට, ශ්‍රී ලංකාවේ කම්කරුවන් වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටුකළ මාගේ පියා වූ, හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාව 1993 එක්සත් ජාතික පක්ෂ මැයි පෙළපාලිය අතරතුරදී රුදුරු ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරයකට ලක්වූයේද අද වැනි දිනකදී ය. ඔහු මියගියේ කම්කරු ඔබ අතර සිටියදීම ය. එබැවින් ඔබ වෙනුවෙන් වෙන්වූ දිනය, ඔබේම පන්තියෙන් බිහිවූ මාගේ පියාණන්ගේ ගුණ සමරු දිනයද වන්නේය.

රට වෙනුවෙන් ලේ, දහදිය, කඳුළු, ශ්‍රමය වැය කරන සියලුම පුරවැසියන්ට, සාධාරණත්වය රජ කරන රටක් බිහි කරන්නට අප හා එක්වන්න. “සමගි රටක්, අනගි හෙටක්” යන තේමා පාඨයෙන් සමගි ජන බලවේගයේ අපි, කොළඹ කොටුව චැතම් වීදියේදී ඔබ සමගින් එක්වන්නෙමු.
කම්කරුවන්ට ජය වේවා! ”

යනුවෙන් එම පණිවිඩය ජනතාව වෙත සජිත් ප්‍රේමදාස මහතා විසින් නිකුත් කර තිබෙනවා.

Share This