ශ්‍රී ලංකා රුපියල් කෝටි 91 කට හිමිකම් කී ‘සුන්දර රාත්‍රියේ දී’ වනිඳුට නොවැටුණු තොප්පිය(PHOTOS)

ශ්‍රී ලංකා රුපියල් කෝටි 91 කට හිමිකම් කී ‘සුන්දර රාත්‍රියේ දී’ වනිඳුට නොවැටුණු තොප්පිය(PHOTOS)

අයි.පී.එල්. තරගාවලියට අලුතින් එක්වූ කණ්ඩායම් දෙකෙන් එකක් වූ ගුජරාට් කණ්ඩායම තරගාවලියේ ශූරතාව දිනාගැනීම වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 20 ක මුදල් ත්‍යාගයකට හිමිකම් කියනු ලැබුවා.

එය දළ වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 91 ක් පමණ වනවා.

අවසන් මහ තරගයේදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 7 ක ජයක් වාර්තා කරමින් මෙවර (2022) ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත් වුණා.

අයි.පී.එල්. තරගාවලියට අලුතින් එක්වූ කණ්ඩායම් දෙකෙන් එකක් වූ ගුජරාට් කණ්ඩායම සිය මංගල තරගාවලියේදීම ශූරතාව දිනාගැනීමට සමත්වීමද එහිදී කැපී පෙනෙන සිදුවීමක් වනවා.

අවසන් මහ තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 131 ක ඉලක්කයක් හඹාගිය ගුජරාට් ක්‍රීඩකයෝ පන්දු 11 ක් ඉතිරිව තිබියදී කඩුලු 3 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියා.

මුලු ලකුණු සංඛ්‍යාව 23 ක් වන විට කඩුලු 2 ක් බිඳවැටුණද, තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 53 කදී ලකුණු 63 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ආරම්භක පිතිකරු ශුබ්මන් ගිල් සහ නායක හර්දීක් පාණඩ්‍යා  ගුජරාට් කණ්ඩායම යළිත් ජයග්‍රාහී මාවතට රැගෙන පැමිණි අතර තරග නිමාවන තෙක්ම එක් අන්තයක් රැකගෙන පන්දුවට පහරදුන් ශුබ්මන් ගිල්, හයේ පහරකින් ගුජරාට් කණ්ඩයමේ ජයග්‍රණය තහවුරු කිරීමට සමත් වුණා.

රාජස්ථාන් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ආරම්භක පිතිකරු ජොස් බට්ලර් ලකුණු 39 ක් රැස්කළ අතර මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වීමටද ඔහු සමත් වුණා.

තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වීමට රාස්ථාන් කණ්ඩායමේ පා දඟ පන්දු යවන ක්‍රීඩක යුස්වේන්ද්‍ර චාහල් සමත් වූයේ තරග 17 කදී කඩුලු 27 දවාගනිමිනුයි.

රෝයල් චැලේන්ජර්ස් කණ්ඩායමේ පා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට මෙවර තරගාවලියේ දම් පැහැති තොප්පිය අහිමි වූයේ එක් කඩුල්ලකිනි. තරග 16 කදී කඩුලු 26 ක් දවාගැනීමට වනිඳු සමත් වුණා.

 

 

Share This