විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථක කර ගැනීමෙන් ශ්‍රී ලංකාවේ ණය බර අඩු කර ගත හැකියි – අමාත්‍ය අලි සබ්රි

විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථක කර ගැනීමෙන් ශ්‍රී ලංකාවේ ණය බර අඩු කර ගත හැකියි – අමාත්‍ය අලි සබ්රි

විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ජූනි මාසය වන විට අවසන් කර ගැනීමට රජය අපේක්ෂා කරන බවත් සමස්ත ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමෙන් ශ්‍රී ලංකාවේ ණය බර එක්සත් ජනපද ඩොලර් බිලියන 17කින් පමණ අඩු කර ගත හැකි වනු ඇති බවත් විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය ලැබීමත් සමඟ රටේ සංවර්ධන කටයුතුද ඉදිරියට කරගෙන යා හැකි බවද අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ “ස්ථාවර රටකට සැවොම එක මඟකට” මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (08) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

ශ්‍රී ලංකාව නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් හා ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය ආරක්ෂා කර ගනිමින් සියලු ජාතීන් සමඟ සබඳතා පැවැත්වීම හේතුවෙන් මේ වන විට ජාත්‍යන්තර ප්‍රජාවෙන් සහන රැසක් හිමි වෙමින් තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

ශ්‍රී ලංකාව රටක් ලෙස නොබැඳි විදේශ ප්‍රතිපත්තිය පවත්වාගෙන යමින් සියලු ජාතීන් සමඟ සුහදව ගනුදෙනු කරන බවත් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයද ආරක්ෂා කර ගනිමින් සෑම රටක් සමඟ ම ගනුදෙනු කිරීම නිසා විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුත්ත පහසු වූ බවයි අමාත්‍යවරයා එහිදී කියා සිටියේ.

තවද විවිධ රටවල් තුළින් ශ්‍රී ලංකාවට ලැබෙන ආර්ථික සහයෝගිතාවය පිළිබඳව ද විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා වැඩිදුරටත් අදහස් පළකර තිබෙනවා.

Share This